අල්ලස් කොමිසම තමන්ට අවශ්‍ය ආකාරයට නඩු පැවරීමෙන් හා ඒවා ඉල්ලා අස්කරගැනීම නිසා අගතියට පත්වන පාර්ශවයන්ට සිදුවන හානියට වගකියන්නේ කවුදැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික .සී. රාගල මහතා අල්ලස් කොමිසමේ වෙනුවෙන් පෙනී සිටී නිලධාරිනියකගේ ප්‍රශ්නකර සිටියේය.
ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර ඊට තම හිතවතෙකු පත්කිරීම තුළින් රජයට පාඩුකළේ යැයි චෝදනා කරමින් හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු ඒ බව පැවසීය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරියක අධිකරණයට දන්වා සිටියේ එය පවත්වාගෙන යාමට කටයුතු කරන බවය.
එය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්ති පාර්ශව විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බවත් මෙහිදී එම නිලධාරිනිය පෙන්වා දුන්නාය.
එවැනි ඉල්ලීම් ඉදිරිපත් නොවූ අවස්ථාවලදී පවා අල්ලස් කොමිසම විසින් නඩු ඉවත් කරගත් අවස්ථාව මීට පෙර දක්නට තිබූ බවත් එහිදී මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේය.
මේ අතර අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 11ක් එම කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් ඊට සම්බන්ධ සැකකරුවන් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජේ. එම්. හීන්කෙන්ද මහතාට එරෙහිව නඩු 10ක් සහ තංගල්ල හිටපු සහකාර ධීවර අධ්‍යක්ෂවරයාට එරෙහිව එම නඩු පවරා තිබුණි.
මෙම නඩු පැවරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගේ ලිඛිත අනුමැතිය හිමිවී නොමැති බවට විත්තිය විසින් මීට පෙර විරෝධතා මතුකර තිබේ.
ඒ අනුව, අදාළ සැකකරුවන්ට යළිත් නඩු පැවරීමේ පදනම යටතේ ඒවා ඉල්ලා අස්කර ගන්නා බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.






















