ආණ්ඩුවේ රැකියා දීමේ වැඩසටහනත් පුස්සක්. ජනතාව ගැන හිතනවා වෙනුවට තැරැව්කාරයන්ව රකිනවා – විපක්ෂ නායක සජිත් තිස්සමහාරාමයේදී කියයි.
උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ සහමුලින්ම පුස්සක් බවට පත්ව ඇති බවත්, පෞද්ගලික අංශයේ රැකියා කරමින් සිටි උපාධිධාරීන් දස දහසක් රජයේ රැකියා බලාපොරොත්තුවෙන් පැමිණ ඒවා අහිමිවීමෙන් අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඔවුන් සිය පෞද්ගලික අංශයේ රැකියාව අතහැර රාජ්‍ය අංශයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් පැමිණියේ ආණ්ඩුවේ ඉල්ලීම මත බවත් අද ඔවුන්ට රජයේ රැකියාවත්, තමන් කරමින් සිටි පෞද්ගලික අංශයේ රැකියාවත් යන දෙකම අහිමි වී ඇති බවත් ඒ මහතා පැවසීය. ජන සමාජයේ බුද්ධිමත්, තරුණ පරපුර මෙලෙස රැවටීමට ලක් කිරීම පිළිබඳව සිය බලවත් අප්‍රසාදය පළකරන බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ වහාම ඔවුන්ට රැකියා ලබාදීමට කටයුතු කරන ලෙසයි.
මේ අතර වර්තමානයේ සංචාරක ව්‍යාපාරය සහමුලින්ම කඩා ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔවුන් වෙනුවෙන් වහාම ආණ්ඩුව සිය මැදිහත්වීම කළ යුතු බවද පැවසීය. සංචාරක ක්ෂේත්‍රයේ සංචාරක මගපෙන්වන්නන් කිසිදු විටෙක රජයට හෝ රටට බරක් නොවූ බවත්, ඔවුන් ස්වෝත්සාහයෙන් නැගී සිටි බවත් හෙතෙම පැවසීය. කෙසේ වෙතත් අද වන විට මේ ක්ෂේත්‍රය සහමුලින්ම කඩා වැටී ඇති තත්ත්වයක් තුළ ඔවුන් වෙනුවෙන් ආණ්ඩුව වහාම මැදිහත් විය යුතු බවද පැවසීය. ඉකුත් රජය වකවානුවේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් කඩා වැටුණු සංචාරක ක්ෂේත්‍රය යලි නගා සිටුවනතුරු සංචාරක මගපෙන්වන්නන් වෙනුවෙන් ‘සංචාරක පොඩ්ඩෝ’ නමින් පොළී රහිත ණය ක්‍රමයක් හඳුන්වා දුන් බවද ඒ මහතා පැවසීය. කොරෝනා වෛරසය මැඩලීම උදෙසා ෆයිසර් නැමති ආයතනය නවතම එන්නතක් හඳුන්වා දී ඇති අතර එම එන්නත ලබා ගැනීම සඳහා යුරෝපා හවුල ඇතුළු රටවල් රාශියක් ඇනවුම් ලබාදී ඇති බවට වාර්තා පළ වන බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අපේ ආණ්ඩුව මේ පිළිබඳව සිය අවධානය යොමුකොට තිබෙනවාද කියා විමසීය. ඒවා පිළිබඳව ආණ්ඩුව කිසිදු තැකීමක් නොකරන නමුත්, ඒ වෙනුවට තමන්ගේ තැරැව්කාරයන්ගේ මඩි තරකිරීම වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටින බවත් කීය. තමන් මෙතෙක් කී සියල්ල අද වනවිට සත්‍ය වී ඇති බවද ඒ මහතා පැවසීය.
තිස්සමහාරාමය කොහොබගහපැලැස්ස සුබෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද ඇත්බටුවේ හේමාලෝක නාහිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබාගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන් අනතුරුව මේ බව පැවසීය.






















