සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (02) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය.ඒ මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය,‘‘ආහාර මිල සම්බන්ධයෙන් රටේ ප්‍රශ්න රැසක් මේ වන විට ඇති වී තිබෙනවා. වෙළඳපොලේ අගයට වඩා අඩු මිලක් රජය භාණ්ඩවලට නියම කළහොත් එතනදි සිදුවන්නේ කළුකඩයක් නිර්මාණය වීමයි. එහෙමත් නැතිනම් හොරෙන් භාණ්ඩ විකිණීමට වෙළඳුන්ට සිදුවෙනවා. ඉන්පසුව වෙළඳුන්ට දඩ ගහලා විශාල ප්‍රශ්න රැස්සකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේම වී මිල රුපියල් 115 ක් කරනවා කියලා අමාත්‍ය මණ්ඩලය හෙට දිනයේදී බොහෝ දුරට තීරණය කරයි කියල මට හිතෙනවා. නාඩු රුපියල් 220 ටත් 230 ටත් ලබාදීමට නම් නාඩු වී මිලදි ගන්නා මිල රුපියල් 115 කරයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. එසේ සිදුවුවහොත් වී සඳහා එකසිය තිහක මිලක් ලැබෙන්නේ නැහැ. නමුත් ජාතික ජන බලවේගය දිගින් දිගටම මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළේ වී මිල රුපියල් 130 ක් දක්වා වැඩි කරන බවයි. නිෂ්පාදන වියදමත් ගණනයකර වී කිලෝවක් සඳහා රුපියල් 130 ක සහතික මිලක් ලබාදෙන බව තමයි ආණ්ඩුව ප්‍රකාශ කළේ. ගොවි මහත්වරුන්ට දහසක් බලාපොරොත්තු ලබාදීලා කොළඹට ඇවිත් ටයිකෝඩ් ඇඳගෙන වී වල මිල තීරණය කරනවා. ගොවියන්ට වී වලට සහතික මිලක් ලැබුණහොත් පමණයි ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් වෙන්නේ. ඒ නිසා ගොවි මහත්තයාට ජීවත්වීමට හැකි වන පරිදි වී වලට සහතික මිලක් ලබාදිය යුතුයි. ඒ වගේම මේ වනවිට වනවිට තෙත වී රුපියල් සියයට ලබා ගන්න බව වාර්තා වෙනවා. කිලිනොච්චිය , මඩකලපුව ප්‍රදේශවලට මෙම මිලට තෙත වී ලබාගන්නවා. නමුත් ගොවී මහතාට රුපියල් අනූපහක් වගේ මිලක් තමයි තෙත වී කිලෝ එකකට ලැබෙන්නේ. ප්‍රවාහන වියදම ඉවත් කළ පසු ගොවියාට තෙත වී කිලෝවක් සඳහා ලැබෙන්නේ රුපියල් 95 ක් ට වගේ මිලක්. ඒ වගේම මේ වන විට ගොයම් කැපෙන්න පටන් ගෙන තිබෙනවා. ඒ අනුව හොඳ අස්වැන්නක් ගොවි මහතුන්ට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම බලාපොරොත්තු වුනාට වඩා වැඩි වී ප්‍රමාණයක් වෙළඳපොළට ලැබෙන්න ඉඩකඩ තිබෙනවා. එකවර වී වෙළඳපොළට ලැබුණහොත් රුපියල් එකසිය පහළවට වී කිලෝව ගන්න හේතුවක් තිබෙනවාද කියලා ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න පිරිස තීරණය කරන්න ඕනි. එසේ සිදුවුවහොත් මහා පරිමාණ වීමෝල්වලට වී සඳහා රුපියල් 115 කමිලක් ලබාදීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම එකවර වී තොග වෙළඳපොළට නොපැමිණ ක්‍රමානුකූලව වී තොග වෙළඳපොළට පැමිණියහොත් වී සඳහා රුපියල් 115 ක සහතික මිල පවත්වාගෙන යන්න හැකියාව තිබෙනවා. නමුත් ආණ්ඩුව ප්‍රකාශ කළේ ගොවීන්ගෙන් රුපියල් එකසිය තිහට වී මිලදී ගන්නා බවයි. ආණ්ඩුව මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වී තිබෙනවා වී කිලෝව රුපියල් 130 ගන්නවා කියලා. ඒ පොරොන්දු ඉටු නොකළහොත් රජය ඒ ප්‍රකාශ කළේ විශාල අසත්‍ය ප්‍රකාශයක් බව කණගාටු වුවත් අපට ප්‍රකාශ කරන්න සිදුවෙනවා. ඒ වගේම මහා කන්නයේදී මෙට්‍රික් ටොන් දෙකයි දශම පහක වගේ ප්‍රමාණයක් ලැබෙයි කියලා රජය පුරෝකථනය කර තිබෙනවා. කෙසේ නමුත් මේ වසර තුළ රුපියල් බිලියන 300 ක පමණ වී ලැබීමට හැකියි. නමුත් ආණ්ඩුව වී මිලදී ගැනීම සඳහා වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 5යි. ආණ්ඩුවට වී ගන්න තවම මුදල් ඉල්ලලාත් නැහැ. ඒ වගේම සති දෙකකින් පමණ ලැබෙන වී අස්වැන්න ගබඩා කිරීම සඳහා අවශ්‍ය බෑග් ප්‍රමාණය තවම සකස් කර තිබෙනවාද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. ආණ්ඩුවට රුපියල් බිලියන පහක් ලබා දුන්නොත් ලබාගන්න වෙන්නේ වී මෙට්‍රික් ටොන් හතළිස් දාහයි. වී මෙට්‍රික් ටොන් 40,000ක් ලබාගෙන ආණ්ඩුව කොහොමද වී තොග අතිරික්තයක් නිර්මාණය කරන්නේ. එය සිදුකළ නොහැකි දෙයක්. කෙසේ නමුත් පාරිභෝගිකයාගෙන් ගොවි මහත්තයාට මේ ප්රශ්නය මාරු කිරීමක් තමයි ආණ්ඩුව සිදු කරන්න බලාගෙන සිටින්නේ. ඒ වගේම ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කරන බවයි. එක පෑන් පහරින් සියලුම ක්‍රමවේදයන් වෙනස් කරනවා කියලා ආණ්ඩුව කිව්වා. නමුත් අද වන විට ඒ පෑන හොයාගන්න බැරි තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ වගේම වේයංගොඩ ගබඩාවක සහල් කිලෝ ලක්ෂයක් පමණ සඟවා තිබිලා සොයාගෙන තිබෙනවා. මෙවැනි කටයුතු සිදුවෙනකන් ආණ්ඩුවේ ඇමතිවරු මොනවද කලේ. කෙසේ නමුත් ආණ්ඩුව රටේ තිබෙන ප්‍රශ්න නිසියාකාරව තේරුම් ගෙන නැති තත්ත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. පොරොන්දු වුන පරිදි වී වලට රුපියල් එකසිය තිහක සහතික මිල වහාම ලබා දෙන්න රජයේ කටයුතු කළයුතුයි. වී සඳහා රුපියල් 115 දෙන්න පුළුවන් කියලා බොරුවට තර්ක කරන්න එපා. ඒ වගේම ලක්ෂයේ බදු සීමාව ලක්ෂ දෙක දක්වා වැඩි කරන බව වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළා. නමුත් දැන් ආණ්ඩුව කියනවා එවැනි ප්‍රකාශයක් ඔවුන් සිදු කළේ නැහැ කියලා. ඒ වගේම රට ඉදිරියට ගෙන යන්න පාරවල් දෙකක් තිබුණා කියලා ජනාධිපතිවරයා කියනවා. එකක් තමයි ණය ප්රතිව්යුගතකරමින් රට ඉදිරියට ගෙනයාම. අනිත් මාර්ගය තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරමින් රට ඉදිරියටියට ගෙනයාම බව ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රකාශ කර තිබුණා. මේ ක්‍රම දෙකෙන් මොන මාර්ගයද සුදුසු කියලා ජනාධිපතිවරයා ජනතාවගෙන් අහනවා. තිබෙන තත්ත්වයෙන් රට ඉදිරියට ගෙන යා යුතු බව අපි දිගින් දිගටම තර්ක කළා. නමුත් ආණ්ඩුව ප්‍රකාශ කළේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන වෙනස් කර රට ඉදිරියට ගෙන යන බවයි. ඒවගේම දැන් ආණ්ඩුව ප්‍රකාශ කරනවා දෙසැම්බර් මාසයේ 21 රට බංකොලොත් භාවයෙන් එළියට ගත්තාකියලා. ආණ්ඩුව සමාජවාදී වැඩපිළිවෙළක ගමන් කරන බව ප්‍රකාශ කරලා අන්ත දක්ෂිණාංශික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක ආණ්ඩුව ඉදිරිපත් වෙලා සිටිනවා. ජාතික ජන බලවේගය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය ප්‍රකාශ කලත් ඒවා ප්‍රායෝගිකව මහපොළොව මත පැළකිරීමට ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා. ඒවගේම ජනාධිපතිවරයා දැන් ප්‍රකාශ කරනවා ආර්ථික පරිවර්තනන පනත හොඳයි කියලා. ආර්ථික පරිවර්තන පනතට විරුද්ධව ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවා. ආර්ථික පරිවර්තන පනත රටේ ව්‍යවස්ථාවට පටහැනියි කියලා ජාතික ජන බලවේගය එදා ප්‍රකාශ කළා. ඔවුන්ගේ ආර්ථික දර්ශනයට මෙය විරුද්ධයි කියලා තමයි ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනුකිරීමට කටයුතු කළේ. ශ්‍රී ලංකාව අපනයන අභිමුඛ ආර්ථිකයක් කරන්න සූදානම් වෙනවා නම් එයින් නිෂ්පාදන ආර්ථිකයකට හානියක් වනවා නම් එය රටේ ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒවගේම විදේශ ආයෝජකයෙක් ලංකාවට පැමිණෙනවාා නම් ඒ ආයෝජකයාට ලංකාවේ දේශීය ආයෝජකයෙක් ලෙස දිරිගැන්වීම් ලබා දීම රටේ ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා. ජාතික ජන බලවේගය නඩු දැමූ ආර්ථික පරිවර්තන පනත වෙනස් කර රටේ වැඩපිළිවෙල මෙයයි කියලා අනුර කුමාර ජනාධිපතිවරයා අයවැය ප්‍රකාශ කරමින් සඳහන් කරනවා.ඒ වගේම ආණ්ඩුව විදුලි බිල සියයට තිස්තුනකින් අඩු කරන බව මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කලා. නමුත් බලය ගත්තාට පසුව ආණ්ඩුව ප්‍රකාශ කළේ වසර තුනක් යනතුරු විදුලි බිල අඩුකිරීමට නොහැකිි බවයි. නමුත් විදුලි බිල සම්බන්ධයෙන් විපක්ෂය සහ විවිධ කණ්ඩායම් තර්ක විතර්ක ඉදිරිපත් කලාට පසුව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා විදුලිබිල අඩුකිරීමට හැකියාවක් තිබෙන බව. ඒවගේම විදුලි බිල සූත්‍රය වගේම ඉන්ධන මිල සූත්‍රයත් හරියාකාරව ක්‍රියාත්මක වෙනවාද කියලා බලන්න පුළුවන් තත්ත්වයක් මහජනතාවට තිබිය යුතුයි. ඒ වගේම මැතිවරණය පැමිණෙන නිසා ඉන්ධන මිල සංශෝධනය නොකිරීම ඉන්ධන වලින් ආණ්ඩුව රුපියල් 20 ක පමණ අලාභයක් ලබනවා. ඒ වගේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියයට පනස් පහක් පමණ තිබෙන නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරිපහදුවෙන් ලැබුණු ලාභය භාවිතා කරලා නිෂ්පාදන අලාභයක් නිර්මාණය කරලා තිබෙනවා. මෙයින් සිදුවන්නේ රජයට ලැබිය යුතු බදු නොලැබී යාමයි. ඒ මුදල එකතු කර ගැනීමට වාහනවල බදුමුදල විශාල ලෙස ඉහළ දමන්න ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. රට තුළ මේ වන විට ගැටලු රැසක් මතුවී තිබෙනවා. නමුත් ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු මත ප්‍රකාරව ජනතාව බලාපොරොත්තු වුණ විසඳුම් ලබාදීමට හැකියාවක් ලැබිලා නැහැ. ඒ වගේම වරායෙන් බහලූම් 323 ක් කිසිදු පරීක්ෂාවකින් තොරව එළියට පැමිනිම සම්බන්ධයෙන් මේ වන විට රට තුළ දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. නමුත් මේ ප්රශ්නය හිතනවාට වඩා ගැඹුරු ප්‍රශ්නයක්. මේ කතාවෙන් පෙනෙන්නේ වරාය තුළ තිබෙන අධික දූෂණයයි. රේගුවේ තිබෙන අධික දූෂණයයි. ජනාධිපතිවරයාගේ ලේකම් වැඩ කරලා තිබෙන්නේ රේගු අධිකාරියේ. ඒ වගේම ඔහු රේගුවේ දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු පුද්ගලයෙක්. ලෝක රේගු සංවිධානය විසින් මොහුට ලෝකයේ රේගු සම්බන්ධයෙන් වන දූෂණවලට උපදේශන දෙන්න අවසරය ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා ඔහුගේ ලේකම්වරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් නොකරන්නේ ඇයිද කියන ප්රශ්නය මතුවෙනවා. එසේත් නැතිනම් මෙතන ගැඹුරු දේශපාලන සිද්ධියක් තිබෙනවාදැයි සැක මතුවෙනවා. වර්තමාන ආණ්ඩුව බලයට පැමිණියේ දූෂණය පිටු දකින්න. ඒවගේම ජනාධිපතිගේ ලේකම්වරයා රේගුවේ දූෂණ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු පුද්ගලයෙක්. එවැනි තත්ත්වයක් තුළ මේ බහලුන් ප්රශ්නය විසඳීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ ඇයිද කියන ප්‍රශ්නේ මතුවෙනවා.‘‘






















