එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පසුගියදා ගාල්ල, කරණ්දෙනිය මැතිවරණ කොට්ඨාශයේ පැවැති බලමණ්ඩල රැස්වීම අමතා කළ කතාව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී රජය ඉතාමත් කල්පනාවෙන් සහ පරිස්සමින් ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේය.ඉතිහාසය පුරා සිටි රාජ්‍ය නායකයන් බොහෝමයක් අකල් මරණවලට ගොදුරු වී ඇති බවත් ඒ නිසාම ප්‍රභු ආරක්ෂාව, ආරක්ෂක අමාත්‍යංශයට ව්‍යවස්ථානුකුලව ලබාදීමට කටයුතු කර ඇති බවත් ඒ මහතා සිහිපත් කළේය.වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ පසුගිය ඉරිදා (26) සවස ගාල්ල දිස්ත්‍රික්කයේ කරණ්දෙනිය මැතිවරණ කොට්ඨාශයේ පැවැති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල හමුව සඳහා පැමිණ සිටි පිරිස අමතමනි.අද බොහෝ දෙනෙක් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ප්‍රභූ ආරක්ෂාව ගැන කතා කරනවා. වර්තමාන රජය මෙම ආරක්ෂාව කප්පාදු කරන එක ගැනත් සමාජයේ විවිධ කතා තිබෙනවා. කොහොම උනත් මේ තීන්දු තීරණ ගන්නකොටත් රජය ඉතාමත් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ මේ රටේ තිස් අවුරුද්දක් පුරා තිබුණු ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරන්න අවසානයේ නායකත්වය දුන් පුද්ගලයා. එතුමාට පුලුවන්ද තනියම යාපනේට ගිහින් එන්න? එහෙමත් නැතිනම් එතුමාට පුලුවන්ද තනියම ගිහින් ඉන්දියාවේ බුද්ධගයාව වැඳලා එන්න? එතුමාට වෛර කරන පුද්ගලයෝ තාමත් ඉන්න පුලුවන්. එතුමාගේ ජීවිතයට තර්ජනයක් වෙන්නත් පුලුවන්. ඒ නිසයි මම කියන්නේ මෙවැනි තීන්දු තීරණ ගන්නා විට ආණ්ඩුව මීට වඩා බුද්ධිමත් සහ කල්පනාකාරී විය යුතුයි කියලා.අපේ රටේ රාජ්‍ය නායකයන් සහ දේශපාලනඥයින් 125 කට අධික ප්‍රමාණයක් අකාලයේ මිය ගොස් තිබෙනවාඅපේ රටේ රාජ්‍ය නායකයන් සහ දේශපාලනඥයින් විශාල ප්‍රමාණයක් අකාලයේ මිය ගොස් තිබෙනවා. අපි ඔවුන්ගේ ලැයිස්තුවක් හදලා තිබෙනවා. ඒ ලැයිස්තුවේ රාජ්‍ය නායකයන් සහ දේශපාලනඥයින් 125 කගේ පමණ නම් සඳහන් වෙනවා. මම ඔබේ දැනගැනීමට ඉන් කිහිපයක් මතක් කරන්නම්.ඩී. එස්. සේනානායක මැතිතුමා අකල් මරණයක්. ඩඩ්ලි සේනානායක මැතිතුමා අකල් මරණයක්, බණ්ඩාරනායක මැතිතුමා අකාලයේ වෙඩි තියලා මරලා දැම්මා. බණ්ඩාරනායක මැතිණියවත් මරන්න උත්සාහ කළා. නමුත් ඊට කලින් ඒ අය අත්අඩංගුවට ගත් නිසා එතුමිය බේරුණා. ඒ විතරක්ද ජේ. ආර් ජයවර්ධන මැතිතුමා ඇවිත් රට හදාගෙන යනකොට ජේ. ආර්. මරමු කියලා රට පුරා බිත්තිවල ලිව්වා. මොකද්ද එතුමා කළ වරද? නගර විශාල ප්‍රමාණයක් ඉදිකළා. වර්තමානයේ කෝට්ටේ කියන නගරය එදා කැළැවක්. එතැන පාර්ලිමේන්තුව ඉදි කරලා දියුණු නගරයක් බවට පත් කළේ එතුමා.කොහොම උනත් පාර්ලිමේන්තුව ඇතුලෙදිම එතුමාට බෝම්බ ගැහුවා. ඔබ හිතනවනේ ඔබේ ගමේ තමයි බෝම්බ පුපුරන්නේ කියලා. නෑ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාට බෝම්බ ගහන්නේ පාර්ලිමේන්තුව ඇතුලෙදීමයි. කොහොම උනත් ඒ බෝම්බ ප්‍රහාරයෙන් මිය යන්නේ කීර්ති අබේවික්‍රම මැතිතුමා. ලලිත් ඇතුලත්මුදලි මහත්මයා මාස 3ක් රෝහලේ ප්‍රතිකාර අරගත්තා. ප්‍රේමදාස මහත්මයට සුලු තුවාල. කොහොම උනත් මේ බෝම්බ ප්‍රහාරයෙන් ජේ. ආර් ජයවර්ධන මැතිතුමාගේ ජීවිතය බේරෙනවා.ලලිත් ඇතුලත්මුදලි මහත්තයව කිරුළපන තිබුණු දේශපාලන රැස්වීමකදී මරා දානවා. ගාමිණි දිසානායක මහත්තයව තොටළගදී මරා දානවා. එතැනදී 100 කගේ විතර දිවි අහිමි වෙනවා. ප්‍රේමදාස මහත්තයටත් මැයි දිනය දවසේ ග්‍රෑන්ඩ් පාස් මංසන්ධියේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. එතුමාත් අකාලයේ මිය යනවා. එතුමාගේ මරණයෙන් පසුව රටේ ජනාධිපති ලෙස පත්වන්නේ ඩී. බී. විජේතුංග මැතිතුමා. එතුමාට දේශපාලන රැස්වීම්වලදී ජනතාව අමතන්නට සිදුවන්නේ වෙන්නේ වෙඩි නොවදින වීදුරු කුටියක් තුළ සිටයි.ඒ විතරක් නෙමෙයි, චන්ද්‍රිකා මැතිණියට ටවුන් හෝල් එකේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. 100කට අදික පිරිසක් ඒ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වෙනවා. වෙඩි නොවදින රථය නිසා එතුමියගේ ඇසක් පමණක් අහිමිවෙලා දිවි බේරෙනවා.ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයට බෝම්බ ගහන්න කිහිප වතාවකම උත්සාහ කරනවා. නමුත් ඒ අය වේලාසනින් අත්අඩංගුවට ගත් නිසා එතුමාගේ දිවි බේරෙනවා. ඝෝඨාභය මහත්තයට පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. එතුමාගේ වාසනාවට එතුමා වෙඩි නොවදින රථයේ සිටි නිසා එතුමා බේරෙනවා. සරත් ෆොන්සේකා මහත්මයටත් ගෝල්ෆේස්වලදී මේ අකාරයටම බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. එතුමා බඩවැල් අතේ තියාගෙන තමයි රෝහලට යන්නේ. හිටපු ජනාධිපති සිරිසේන මැතිතුමාටත් මේ විදිහටම පහරදෙන්න කිහිප වතාවක්ම උත්සාහ කරනවා. නමුත් ඒ ප්රහාරයන් වැරදිලා වෙනත් අයගේ ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුවෙනවා.මේ විතරක් නෙමෙයි. අපේ ඉතිහාසය බැලුවොත් විජය කුමාරතුංග මැතිතුමාටත් වෙඩි තියලා මරලා දානවා. අෂ්රෝෆ් උඩුගුවනෙදි නැතිවෙනවා. නීලම් තෙරු චෙල්වම් වෙඩි කාලා මැරෙනවා. අමිර්ත ලිංගම්, ලක්ෂ්මන් කදිරගාමර් මේ අයත් අකාලයේ වෙඩි කාලා මියැදෙනවා.ජාතික නායකයින්ගේ සහ දේශපානඥයින්ගේ ආරක්ෂාව ඉතා වැදගත්මට මතකයි 2001 වර්ශයේදී ආණ්ඩුව අපිට ලැබුනු අවස්ථාව. චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති. රජයේ නිවාස මගේ අමාත්‍යංශය යටතේ තමයි තිබුනේ. ඒ නිසා මම රජයේ නිවාස සියල්ලක්ම නැවත බාර දෙන්න කියලා හිටපු ඇමතිවරුන්ට දැනුම් දුන්නා.දවසක් මට අරලිගහ මන්දිරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එන්න කිව්වා. ඒ එන්න කියලා එතුමා මගෙන් ඇහුවා ඔබ හිටපු සියලු ඇමතිවරුන්ට ලියුම් යැව්වද නිල නිවාස නැවත බාරදෙන්න කියලා. මං එතුමාට කිව්වා ඔව් කියලා. ඊට පසුව එතුමා මගෙන් ඇහුවා කදිරගාමර් හිටපු ඇමතිතුමාටත් දැන්නුවද එතුමාගේ නිවාසය දෙන්න කියලා. මම කිව්වා ඔව් කියලා. ඒ නිවාසය තමයි වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහත්තයා පාවිච්චි කරන්නේ.රනිල් වික්‍රමසිංහ මහත්තයා මගේ දිහා බලලා කිව්වා ඒ නිවස නැවත පවරගන්න එපා කියලා, කදිරගාමර්ට ඒ නිවසේ දිගටම ඉන්න දෙන්න කියලා මට කිව්වා. ඔහු ඇමතිවරයෙක් නොවේ ඒ වෙලාවේ මන්ත්‍රීවරයෙක්. ඒ විතරක් නොවේ මට මතකයි පසුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා කදිරගාමර්ට ආරක්ෂාවට ආරක්ෂකයින්140 ක් සහ වෙඩි නොවදින නිල රථ දෙකකුත් යුද්ධ හමුදා කමාන්ඩෝ බලකායේ මෝටර් සයිකල් 14 ක් දීලා එතුමාව ආරක්ෂා කරන්න පියවර ගත්තා. මට දොස් කිව්වා නොදන්න දේවල් කරන්න යන්න එපා කියලා. කොහොමහරි 2004 අප්‍රේල් 10 වෙනිදා අපට නැවත බලය අහිමි කළා. ඉන්පසුව පැවති පාලන යන්ත්‍රයේදී කදිරගාමර් ඝාතනය වුනා. මේ තමයි ඉතිහාසය. ඒ නිසා බලය ඇතත්, බලය නැතත් රජය ප්‍රවේසමෙන් ක්‍රියා කළ යුතුයි.වර්තමාන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයා ගැනත් පරිස්සමින් කටයුතු කරන්න ඕනඒ නිසා නැවත වරක් මා කියනවා වර්තමාන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයා ගැනත් පරිස්සමින් කටයුතු කරන්න ඕන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තනියම බුද්ධගයාවට ගිහින් ලංකාවට එන්න පුලුවන් පුරවැසියෙක් නොවේ. කවුරුහරි එතුමාගේ ආරක්ෂාව නැති කළොත් එතුමාව මරලා දාවි. එතුමාට යාපනයට තනියම ගිහින් එන්න පුලුවන් පුරවැසියෙක් නෙමේ. එතුමාව කවුරුහරි ඝාතනය කරලා දාවි. සියලු දෙනාට යාපනයට යන්නත්, සියලු දෙනාට ඉන්දියාව ඇතුලු ලෝකයේ ඕනෑම රටකට යන්න පාර හදපු නායකයෙක් මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ නිසා රජය පරිස්සමින් යම් යම් කාරණා සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඕන කියලා මතක් කරන්න කැමතියි.අපේ මේ බෙදීම නිසා අපේ නායකයෝ විශාල ප්‍රමාණයක් අකාලයේ තම ජීවිත පරිත්‍යාග කරලා තිබෙනවා. මේක ඉතාම සංවේදී ප්‍රශ්නයක්. ඒ නිසා තමයි ප්‍රභූ ආරක්ෂක අංශයක් ඇති කරලා ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයට ඒ වගකීම් ලබා දීලා තිබුණේ. ඒ නිසා මෙවැනි සංවේදී ප්‍රශ්නයකදී රජය ඉතාමත් පරිස්සමින් වැඩ කරන්න ඕන.අපේ රටේ ජාතික නායකයින් සියල්ල මරා දාලා මේ ජාතිය නිවට ජාතියක් බවට පත් කරන්න එපා. අපි අපේ නායකයෝ අපේ මතයට එකඟ වුනත්, නැතත් ආරක්ෂා කරන්න රජය බැඳිලා ඉන්නවා. ඒ ගැන රජය වගකීම ගන්න පුලුවන් නම් ඒක අමුතු ආරකෂාවක් කියලා අපිට කියන්න වෙනවා.

























