ආනවිළුන්දාව අභයභූමිය අයත් ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, වනජීවි නිලධාරීන් විසින් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ.
එසේම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීමට වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.
ඒ අනුව එහි මූලික පියවරක් ලෙස වනජීවි නිලධාරීන් විසින් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර ඊට සම්බන්ධ සැකකරුවන් හා නඩු භාණ්ඩ අනාවරණය කරගැනීම සඳහා ඉදිරි විමර්ශන කටයුතු පොලීසිය සමග එක්ව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ද එම නිවේදනයේ සඳහන් වේ.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ප්‍රකාරව මෙම අභය භූමියෙන් හෙක්ටයාර 1397ක ප්‍රමාණයක් 1997 මැයි 11 දින අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
ප්‍රධාන වැව් පද්ධතියකින් ද සමන්විත මෙය තෙත්බිම් ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්මුතිය හෙවත් රම්සා සම්මුතිය යටතේ 2001 වසරේ අගෝස්තු 03 වැනි දා රම්සා තෙත්බිමක් ලෙස ප්‍රකාශයට පත් කළේය.
ඒ මෙරට දෙවැනි රම්සා තෙත් බිම ලෙසය. මෙරට ප්‍රථම රම්සා තෙත් බිම බුන්දල වේ.
ආනවිළුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් කර ඉස්සන් කොටු ඇතිකිරීම සඳහා කිසියම් පිරිසක් කටයුතු කරන බව පසුගිය දා වාර්තා විය.
මෙම වටිනා පරිසර පද්ධතිය ජලජ පක්ෂීන් දස දහස් ගනණකගේ ප්‍රජනන ස්ථානයක්, ක්ෂීරපායින් ඇතුළු තවත් සතුන් දහස් ගණනකගේ පෝෂණ සහ ලැගුම් ස්ථානයක්, දුලබ සමනල් විශේෂ ගණනාවක වාසස්ථානයක් මෙන්ම උඩවැඩියා සහ ලයිකන ඇතුළු වටිනා ශාක රාශියක නිජබිමක් ලෙස ද සුරක්ෂිත වී තිබේ.
එවැනි පසුබිමක පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දී කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතය තිබූ භූමි කොටසක් කිසියම් පිරිසක් ඩෝසර් කර මුළුමනින්ම විනාශ කර තිබුණි.
එම වටිනා භූමිය මෙලෙස විනාශ කර ඇත්තේ ඉස්සන් වගාව සඳහා අවශ්‍ය බිම් සැකසීමේ අරමුණින් බව අනාවරණය වේ.






















