ඉස්ලාම් අන්තවාදීන් ගැන විවෘත පරීක්ෂණ එපා – හිටපු ජනපති උපදෙස් දුන් බව පූජිත් කියයි
ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව විවෘත පරීක්ෂණ සිදු නොකරන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබියදීත් ප්‍රහාරයට පෙර ලද අනතුරු ඇඟවීමේ ලිපිය සම්බන්ධයෙන්, හැකි උපරිම දේ කළ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු කොමිසම හමුවේ අද (01) කියා සිටියේය.
නමුත් එම බුද්ධි තොරතුර ප්‍රසිද්ධ කළේ නම් පොලිස්පති එළෙස කළේ ඇයිදැයි ප්‍රශ්න කිරීමට ඉඩ තිබූ බැවින් තමා එම තීරණය නොගත් බව ජයසුන්දර මහතා කොමිසමට ප්‍රකාශ කළේය.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසම හමුවේ අද (01) සාක්ෂි ලබාදුන්නේ සත්වැනි දිනටය.
එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසුවේ ඔබට පොලිස්පති ලෙසට ජනාධිපතිවරයා ඝාතන සැලැස්මක් පිළිබඳ තොරතුරක් ලැබුණේ නම් එවැනි අවස්ථාවක කුමක්ද කරන්නේද?, යන්නය.
එම බුද්ධි තොරතුර මොන තත්ත්වයක් තිබුණද තමා එය ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන අතර තොරතුරු පැමිණි ස්ථානය පිළිබඳ සැළකිලිමත් වන බව හිටපු පොලිස්පතිවරයා කියා සිටියේය.
එවිට කොමිසමේ සභාපතිවරයා විමසුවේ ජාතික බුද්ධි ප්‍රධානියා ඔබට ඉදිරිපත් කර තිබූ දැනුම් දීමේ තොරතුරට අනුව වැදගත් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙනවා යැයි දුටුවිට එම දේවස්ථානවල වන්දනා මාන කිරීමට යන බැතිමතුන් බේරාගැනීමේ අදහසක් නොආවේද යන්නය.
මේ සම්බන්ධයෙන් කළ හැකි උපරිම දේ තමා සිදුකළ බවත් බුද්ධි තොරතුර ප්‍රසිද්ධ කළේ නම් පොලිස්පති එළෙස කළේ ඇයිදැයි ප්‍රශ්න කිරීමට ඉඩ තිබූ අතර රාජ්‍ය බුද්ධි සේවය දුන් ලිපිය අනුව “මෙරට කතෝලික පල්ලි හා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිශ්චිත ඉලක්ක වන නමුත්,“ යනුවෙන් සඳහන් වන බැවින් එය නිශ්චිත බුද්ධි තොරතුරක් නොවන බවද ප්‍රකාශ කළේය.
කොමිසම එහිදී විමසා සිටියේ,
“වසර ගණනාවක අත්දැකීම් තිබෙන ඔබට මේ තොරතුර ලැබෙද්දි ඔබ පොලිස්පති. අත්දැකීමෙන් කියන්න බලන්න, ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් සැලසුම් කරලා කියනවාද, ඒක ගහන තැන මොකද්ද… වෙලාව කීයටද… කියලා. ඒ ගැන සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරනවාද ඔවුන්..?” යනුවෙනි.
“නෑ ස්වාමීනි. එහෙම කරන්නේ නැහැ,” යනුවෙන් හිටපු පොලිස්පතිවරයා ඊට පිළිතුරු දුනි.
” ‘නමුත්’ කියන වචනයක් අල්ලගෙන හිටියේ එහෙනම් ඔබට හිතුනේ නැත්ද ඒ වෙලාවේ ත්‍රස්තවාදීන් එහෙම නොකරන බව ? ඇයි මේ එක වචනයක් ගැනම කතා කරන්නේ ?”ලෙස කොමිසම පෙරළා ප්‍රශ්න කළේය.
එහිදී ජයසුන්දර මහතා පැවසුවේ, “එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් මට තිබුණු උපදෙස් හා ඒ හා පසුව ඇතිවුණ තත්ත්වය ගත්තම ස්වාමීනි..’පූජිත් විවෘත පරීක්ෂණ කරන්න එපා. අයි. එස්. අයි. එස්. එක පරීක්ෂණ කළාම ඇති’ කියල මොකක් කරන්නද? ඕකයි උපදෙස.. යනුවෙනි.






















