ඉහළ යන බිත්තර මිල
වෙළෙඳපොළේ බිත්තර මිල සීඝ්රයෙන් ඉහළ යමින් පවතී.
මෙලෙස බිත්තර මිල ඉහළ යන්නේ ඇයි? එහි ඉදිරි වෙළෙඳපොළ තත්ත්වය කෙසේ වේවිද ? අද දෙරණ ඒ පිළිබඳව විමසා බැලුවේය.
වෙළෙඳපොළේ බිත්තරයක සිල්ලර මිල අද (16) වන විට රුපියල් 22 ත් රුපියල් 24 ත් අතර මිලකට ඉහළ ගොස් තිබේ.
කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ ඉකුත් මාර්තු මාසයේ මුල වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 18 ත් 20 ත් අතර මිලක පැවති අතර පසුව රජයේ මැදිහත්වීමෙන් බිත්තරයක සිල්ලර මිල රුපියල් 10 දක්වා අඩුකෙරුණි.
කෙසේවෙතත් බිත්තර මිල අප්‍රේල් මාසයේ රුපියල් 15 ක්, මැයි මාසයේදී රුපියල් 17 ක්, ජුනි මාසයේ රුපියල් 18 ක්, ජුලි මාසයේ රුපියල් 20 දක්වාත් මිල ඉහළ යාමෙන් පසු අද වනවිට රුපියල් 23.50 දක්වා අඛණ්ඩ මිල වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.
ඇතැම් ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 25 දක්වා ඉහළ නංවා ඇති බවද වාර්තා වේ.
ලංකාවේ දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 85 ක් පමණ වන අතර මේ වනවිට එය සියයට 30 කින් පමණ පහළ බැස ඇත.
කොවිඩ් ව්‍යාප්තියෙන් පසු කුකුළු ගොවිපොළවල සතුන් ඇති කිරීම ප්‍රමාණාත්මකව අඩු වීම, යුරෝපයෙන්, අමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් මව් සතුන් ආනයනය ඇනහිටීම මෙන්ම සත්ව ආහාර සඳහා සහල් භාවිත කිරීමට පැනවූ තහනම හේතුවෙන් දේශීයව සත්ව ආහාරවල මිල ඉහළ යාම මෙලෙස බිත්තර මිල ඉහළ යාම කෙරෙහි බල පා තිබේ.
කෙසේවෙතත් සත්ව ආහාර අමුද්‍රව්‍යවල මිල අඩු කිරීමට රජය මැදිහත් වන්නේ නම් බිත්තර මිල අඩු කළ හැකි වනු ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.






















