මීරිගම ලෙනින් බැලීමට රාජ්‍ය ඇමති යයි
අපස්මාරය සඳහා මීරිගම මූලික රෝහලෙන් ලබාදුන් ඖෂධ හේතුවෙන් 16 හැවිරිදි දරුවකුගේ පෙනීම අහිමි වූ බව කියන සිද්ධියක් අප ඊයේ (15) වාර්තා කළ අතර ඒ පිළිබඳව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ අවදානය යොමු වී තිබේ.
ගම්පහ ,කල්එළිය, වැවහේන්වත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ලෙනින් නිරෝෂන් දරුවා අපස්මාර රෝගය සඳහා කලක සිට ප්‍රතිකාර ගෙන තිබේ.
මීරිගම මූලික රෝහලෙන් ප්‍රතිකාර ගනිමින් සිටි ලෙනින්ට කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ඉකුත් අප්‍රේල් 06 වනදා නිවසටම ඖෂධ ලැබී තිබුණි.
නමුත්, එම ඖෂධ පානය කිරීමෙන් දින කිහිපයකට පසු ලෙනින්ගේ පෙනීම අහිමි වූ බව ඔහුගේ මව්පියන් පවසයි.
මව්පියන්ගේ මෙම චෝදනාව සම්බන්ධයෙන් මීරිගම මූලික රෝහල මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රෝහල් වෛද්‍ය අධිකාරී ජයන්ත අබයරත්න මහතා සඳහන් කළේය.






















