උතුරු කොළඹ නව මුතුවැල්ල ගංවතුර පාලන උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කෙරේ.
උතුරු කොළඹ නව මුතුවැල්ල ගංවතුර පාලන උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග‍්‍රාමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිවරුන්ගේ උපදසේ පරිදි අවසන් කෙරේ.
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමති ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, පේ‍්‍රමනාත් සී දොලවත්ත යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් උමග විවෘත කිරීමේ කටයුතු අද (21) දින සිදුවිය.
මෙම අවස්ථාවට සහභාගී වු නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප‍්‍රකාශ කළේ,
”කොළඹ නගරයේ ජල ගැලීම් වැලැක්වීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ පහත්බිම් සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද උමඟ විවෘත කිරීමේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕන දෙයක් තමයි අවුරුදු ගණනාවක් තිස්සේ කොළඹ නගරය ජල ගැලීම් වලින් යට වීමේ ප‍්‍රශ්නයක් තිබුණා. ඉතාම බරපතල ප‍්‍රශ්නයක් විදිහට තමයි මේක තිබුණේ. මේකට තිරසර විසඳුමක් සෙව්මේ කාර්යයයෙහි මුලින්ම නිරත වුණේ අද වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එවකට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සිටියදී. එතුමා ලෝක බැංකුවත් සමඟ සාකච්ඡුා කරලා විශාල ව්‍යාපෘතියක් පටන් ගත්තා, මේ සම්බන්ධයෙන් වැඩ පිළිවෙලක් කරන්න. කොළඹ නගරය පුරාම විවිධ යටිතල පහසුකම් ගොඩ නැගීම සිදු වණා මේ කාර්යය කිරීම සඳහා. එහි එක් පියවරක් තමයි මේ උමං මාර්ග ව්‍යාපෘතිය. ප‍්‍රධාන වශයෙන් උමං මාර්ග දෙකක් සැලසුම් කරලා තිබුණා අපි මෙහිදි. එකක් කොළඹ උතුර ප‍්‍රදේශයේ සිදුවන ජල ගැලීම් වැලැක්වීම සඳහා. අනික ටොරින්ටන් ආදී ප‍්‍රදේශවල සිදුවන ජල ගැලීම් වැලැක්වීම සඳහා. මේ දෙකෙන් පළවෙනි එක වන මුතුවැල්ල උමග තමයි අද අපි නිම කරලා අවසන් කළේ. අපි අද අවසන් කළේ හිටපු ජනාධිපති වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ආරම්භ කරපු වැඩි පිළිවෙලක් කියලා මට කියන්න පුළුවන්. අපි අද සංතෝෂ වෙනවා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සියළුම නිලධාරීන්ට මේ කාර්යය අවසන් කරන්න පුළුවන් වීම ගැන. ඒ වගේම අපිට තවත් උමගක් නිම කරන්න තියෙනවා. ඒ කාර්යය අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ පටන් ගන්න. ඒ පටන් අරන් ලබන වසරේ මාර්තු පමණ වෙනකොට මේක අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ කොරෝනා ප‍්‍රශ්නය නොවන්නට අපිට මේක මීට පෙර පටන් ගන්න තිබුණා. ඔබ දන්නවා පහුගිය කාලේ මේ ප‍්‍රශ්නය නිසා අපිට ගුවන් ගමන් පවා පාලනය කරන්න සිද්ධ වුණා. ඒ නිසා මේ සම්බන්ධයෙන් වැඩ කරන ඉංජිනේරුවන් පවා ගෙන්න ගන්න අපිට බැරි වුණා. ඒ නිසා තමයි යම් කිසි ප‍්‍රමාදයක් ඇති වුණේ. නමුත් අද වැඩ කරන රටක් කියන සංකල්පය යටතේ ජනාධිපතිතුමා ඉතාමත් වේගයෙන් තමන්ගේ වැඩ පිළිවෙල කි‍්‍රයාත්මක කරගෙන යනවා. ඒ නිසා මේ අමාත්‍යාංශයත් උපරිම වේගයෙන් මේ වෙලාවේ ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා.”
යනුවෙන් ද නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප‍්‍රකාශ කළේය.
කොළඹ අගනගර ආශ‍්‍රිත ප‍්‍රදේශයන්හි ඇතිවන ජල ගැලීම් හේතුවෙන් සිදුවන අහිතකර භෞතික හා සමාජීයීය, ආර්ථික බලපෑම අවම කිරීම සඳහා උතුරු කොළඹ නව මුතුවැල්ල භූගත උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 2019 වසරේ ආරම්භ විය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මඟින් කි‍්‍රයාත්මක කරන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්කරගැනීම්, නැවත පදිංචි කිරීම් ඇතුලූ සමස්ථ පිරිවැය රුපියල් මිලියන 3,450 කි. උතුරු කොළඹ ප‍්‍රදේශයේ ඇතිවන ගංවතුර තත්වය පාලනය කිරීම සඳහා අලූත් මාවත ප‍්‍රධාන ඇල මාර්ගයට සම්බන්ධ කර ආරම්භ වන මෙම උමං මාර්ගය නවමුතුවැල්ල ප‍්‍රදේශය හරහා භූගතව ගමන් කර මුතුවැල්ල ධිවර වරාය අසලින් මුහුදට විවෘත වේ. විෂ්කම්භය මීටර් 3 ක් වන මෙම උමං මාර්ගයේ ඇතුළත ඝන කොන්ක‍්‍රීට් ආස්තරණයකින් සමන්විත අතර උමගේ දිග මීටර් 778 කි. උමග ආරම්භක කොටස කෙටි විවෘත ඇළ මාර්ගයක් ලෙස ඉදිවනු ඇත. ඉන්පසුව භූගත උමං මාර්ගයක් ලෙස තත්පරයකට ජලය ලීටර් 15,000 ක් මුහුදට මුදා හැරිය හැක.
නව මුතුවැල්ල උමගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යන කටයුතු හා සැලසුම් 2013 වසරේදී ආරම්භ කළ අතර ඉදිකිරීම් කටයුතු පළපුරුදු විදේශීය සමාගමක් වන චයිනා පෙට්‍රෝලියම් පයිප් ලයින් ඉංජිනියරින් කම්පැනි ලිමිටඞ් විසින් සිදු කරනු ලැබීය. ඉදිකිරීම් අධික්ෂණය යූෂින් ඉංජිනියරින් කෝපරේෂන් ලිමිටඞ් විසින් සිදු කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ කි‍්‍රයාත්මක වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා නව මුතුවැල්ල, අලූත් මාවත ග‍්‍රාම නිලධාරී වසමේ ජීවත්වන පවුල් දැනුවත් කර ඇති අතර පවුල් 150 කට අයත් ඉඩම් හෙක්ටයාර් 1.719 ක ප‍්‍රමාණයක් රජයට පවරාගෙන මෙම උමග ඉදිකිරීමට යොදාගන්නා ලදි. දැනටමත් මෙම ඉඩම් පවරා ගැනීමේ කි‍්‍රයාවලියේදී ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස හා ඉඩම් අහිමිවූවන්හට නිවාස හා වන්දි ගෙවීමට රුපියල් මිලියන 647 ක පිරිවැයක් දරා ඇත. තවද උමග ඉදිකිරීම හේතුවෙන් නිවාස අහිමි වූ අනවසර පවුල් 63 ක් සඳහා මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීමට ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 252 ක් වැය කර මීට වසර දෙකකට පමණ පෙර නැවත පදිංචි කිරීමේ කටයුතු අවසන් කර ඇත.
”කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය”, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක ප‍්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වේ. මෙම ව්‍යාපෘතියේ මුළු වටිනාකම ඇ.ඩො.මි. 321 ක් වන අතර එයින් ඇ.ඩො.මි. 213 ක් ලෝක බැංකුවෙන් සහනදායී ණය පදනම මත ලැබෙන අතර ශ‍්‍රී ලංකා රජය ව්‍යාපෘතියට ඇ.ඩො.මි. 108 ක් ආයෝජනය කර තිබේ.
කොළඹ අගනගර කලාපයේ පවතින වැසි ජලය නිසා ඇතිවන ජල ගැලීම් දුෂ්කරතා අවම කර නාගරික යටිතල පහසුකම් නැංවීම හා පළාත් පාලන ආයතනවල හැකියාවන් වර්ධනය කිරීමට ව්‍යාපෘතිය දැනටමත් වැඩසටහන් රැුසක් ක‍්‍රියාවට නංවමින් සිටී.
තවද කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මඟින් උප ව්‍යාපෘති 55 ක් ක‍්‍රියාවට නැංවෙන අතර ඉන් උප ව්‍යාපෘති 45 ක් මේ වනවිට නිමාකර ඇත. මෙම නිමාකර ඇති ව්‍යාපෘති අතර ගාලූ පාර හා ආර්.ඒ.ද. මැල් මාවත ප‍්‍රතිසංස්කරණය, කොළඹ නගර ශාලා චතුරස‍්‍රයේ ආදර්ශ කලාපය සංවර්ධනය, බැද්දගාන ජෛව විවිධත්ව උද්‍යානය සංවර්ධනය හා කාක ¥පත වෙරළ උද්‍යානයේ නවීකරණයන් සිදුකිරීම ආදී ව්‍යාපෘති ප‍්‍රධාන වේ.
දැනට ක‍්‍රියාවට නැංවෙන ව්‍යාපෘති 10 අතුරින් කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා ක‍්‍රියාත්මක කොලොන්නාව හා මාදිවෙල නැගෙනහිර ජල හැරවුම් ඇළ මාර්ග නවීකරණය කිරීම, අඹතලේ, ශාන්ත සෙබස්තියන් උතුරු හා දකුණු පොම්පාගාර ඉදිකිරීම ආදිය ඇතුලත් වේ. එමෙන්ම, මෙයට සමගාමීව මීටර් 1100 ක් වන ප‍්‍රධාන උමං මාර්ගයකින් හා මීටර් 2500 ක් වන අතුරු උමං මාර්ග තුනකින් සමන්විත ටොරිංටන් උමං මාර්ග පද්ධතියේ ඉදිකිරීම් කටයුතුද මේ වන විට ආරම්භ කර ඇත. ටොරිංටන් ප‍්‍රධාන උමං මාර්ගය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාල ප‍්‍රදේශයෙන් ආරම්භ වී බෞද්ධාලෝක මාවත ඔස්සේ ගමන්කර බම්බලපිටිය වෙරළ තීරයෙන් මුහුදට වැටේ.
නව මුතුවැල්ල උමං මාර්ගය ඉදිකිරිමෙන් පසු කාලාන්තරයක් පැවති ජල ගැලීම් පාලනයට ස්ථිර විසඳුමක් ලැබෙන අතර කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ජල ගැලීම් වලින් තොර කොළඹ නගරයක් ඇතිකිරීම සඳහා කැප වී සිටියි.




























