ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් හරහා උප අගමැති ධුරයක් නිර්මාණය කිරීමේ තීරණයක් ආණ්ඩුව විසින් තවමත් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරට පවසා සිටියේ, ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ඕනෑම ධුරයක් නිර්මාණය කිරීමේ හැකිව තිබුණද, උප අගමැති ධුරයක් ඇති කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් සාකච්ඡා කර නොමැති බවය.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් යටතේ යම් තනතුරක් ලබාදීම පිළිබඳව එකඟතාවයක් පවතින බව පසුගිය 20 වන දා පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමක දී එම පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය
එම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ද, ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව ඒ මහතා සඳහන් කළේය.
එම කමිටුවේ සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කර තිබේ.






















