Friday, July 31, 2026
HomeNEWSඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව මෙන්ම ජාතික සමගිය පිළිබිඹු කරන්නක්

  • ජනපති
    ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2026 ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර ඊයේ (29) රාත්‍රියේ විථි සංචාරය කෙරුණු අතර පෙරහර නැරඹීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එක් විය.

ඊයේ (29 ) පස්වරුවේ ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරය වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව දහස් සංඛ්‍යාත ජනතාව සමඟ පෙරහර නැරඹීමට ජනාධිපතිවරයා එක් විය.

ඓතිහාසික කිරිවෙහෙර අභියස පැවති ආගමික වතාවත්වලටද සහභාගී වූ ජනාධිපතිවරයා හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරිමේ අවස්ථාවට එක් විය.

මේ අතර කිරි වෙහෙර පරිශ්‍රයේ විදුලි ආලෝකය විවෘත කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ රටේ සියලු ජන කොටස්වලට අයත් ජනතාව එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව මෙන්ම ජාතික සමගිය පිළිබිඹු කෙරෙන අවස්ථාවක් බවයි.

ඕනෑම රටක සංවර්ධනයේදී ඒ රට සහ සමාජය ගොඩනැගුණු ඓතිහාසික සංස්කෘතිකමය පදනම වැදගත් බවත්,ලෝකය මොනතරම් පරිවර්තන ඇති කරගත්තද අපේ රට ඉදිරියට යා යුතු වන්නේ රටේ ඓතිහාසික පවුරු පදනම් ආරක්ෂා කර ගනිමින් බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ඓතිහාසික සංස්කෘතික උරුමය සහ මාතෘභූමිය සමග ජනතාවගේ ඓන්ද්‍රීය සබඳතාව පෙන්නුම් කරන ඉතාමත් වැදගත් අවස්ථාවක් ලෙස මෙම ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය හඳුන්වා දිය හැකි බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

ඕනෑම සමාජයක් සහ රටක් පවතින්නේ ඒ රටට, සමාජයට අනන්‍ය වූ සංස්කෘතික පදනම සමඟයි. මේ යුගය ලෝකයේ විද්‍යාවේ සහ තාක්ෂණයේ විශාල පිමි සහ වර්ධනයක් පෙන්නුම් කරන යුගයක්. ලෝකයේ කලාව, සාහිත්‍යය තුළ විශාල පරිවර්තනයක් මේ තාක්ෂණය සමඟ ඇති කරනවා.

ඕනෑම රටක සංවර්ධනයේදී ඒ රට සහ සමාජය ගොඩ නැඟුණු ඓතිහාසික සංස්කෘතිකමය පදනම වැදගත් වෙනවා. ලෝකයේ මොනතරම් පරිවර්තන ඇති කරගත්තද අපේ රට ඉදිරියට යා යුතු වන්නේ රටේ ඓතිහාසික පවුරු පදනම් ආරක්ෂා කර ගනිමින්.

මහපොළව සමඟ තිබෙන අපේ ඓන්ද්‍රීය සබඳතාව බිඳ ගතහොත් පාවෙන සමාජයක් බවට පත් වෙනවා. එයින් රටක අනන්‍යතාව, සමාජයේ ගරුත්වය යන සියල්ල විනාශයට පත් කරනවා. එම ඓතිහාසික සංස්කෘතික උරුමය සහ මාතෘභූමිය සමඟ ජනතාවගේ ඓන්ද්‍රීය සබඳතාව පෙන්නුම් කරන ඉතාමත් වැදගත් පෙරහර මංගල්‍යයක් තමයි ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහර මංගල්‍යය.

අපේ නායක ස්වාමීන්වහන්සේ සඳහන් කළ පරිදි වසර 2187ක් අවිච්චින්නව මේ මහා කලා මංගල්‍යය පවතිනවා. වසර දෙදහසකට අධික කාලයක් අවිච්චින්නව යම් කාර්යයක්, සංස්කෘතික උත්සවයක් පවතිනවා නම් එය මොන තරම් ගැඹුරු සංස්කෘතික පදනමක් නිර්මාණය කරනවාද යන්න අවබෝධ කරගත හැකියි. අපේ පරම්පරා ගණනාවක් මේ ඓතිහාසික මංගල්‍යය සමඟ සම්බන්ධ වී තිබෙනවා. සමාජයක් අවිච්චින්නව පවතින්නේ එම සංස්කෘතික උරුමයන් සමග අවිච්චින්නව පැවතුණහොත් පමණයි. ඒ නිසා වර්ෂිකව පවත්වන රුහුණු කතරගම මහා දේවාලයේ මෙම පෙරහර මංගල්‍යය අපේ ඓතිහාසික උරුමය සහ අපේ රට ගොඩ නැඟී තිබෙන සංස්කෘතික පදනම ආරක්ෂා කර ගනිමින් අනාගත පරපුර වෙනුවෙන් එම සංස්කෘතික උරුමයන්, උරුම කර දෙන ඉතාමත් ඓතිහාසික අවස්ථාවක්.

අපේ සමාජය දෙස බැලු විට අපිට දැනෙනවා නව පරපුර සංස්කෘතික උරුමයන්ගෙන් ඈත් වෙනවද කියලා. එහෙත් මේ පෙරහර දෙස බලා සිටින විට භද්‍ර යෞවනයේ තරුණ තරුණියන් දහස් ගණනක් අපේ මුතුන් මිත්තන්ගේ සංස්කෘතික උරුමයන් පෙරදැරි කරගෙන මෙම පෙරහරේ ගමන් කරන බව අපි දකිනවා. එයින් අපිට පෙන්නුම් කරන්නේ මේ තරුණ තරුණියන් මෙම ඓතිහාසික උරුමයන් තවත් චිරාත් කාලයක් පවත්වා ගෙන යාමේ අභියෝගය භාරගෙන තිබෙන බවත්, එය සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකියාව තිබෙන බවත් කිව යුතුයි.

මෙම භාරදූර කාර්යයේදී අප නායක ස්වාමීන්වහන්සේ විසින් කරන ලද සේවාව ඉතා වැදගත්. මෙම පෙරහර මංගල්‍යය සහ ආශ්‍රිත සංස්කෘතික උරුමයන් දෙස බැලු විට උතුරේ දෙමළ ජනයා සති ගණනාවක් පූරා පාද යාත්‍රාවෙන් මහ කැලෑවේ සතා, සිව්පාවාගේ උවදුරුවලට මුහුණ දෙමින් මෙම මංගල්‍යයට පැමිණෙනවා. ඒ වගේම මුස්ලිම් ජනතාව තමන්ටම අනන්‍ය වු වතාවත්වල යෙදෙනවා. ලක්ෂ සංඛ්‍යාත සිංහල ජනතාව මෙම පෙරහර මංගල්‍යයයට සම්බන්ධ වෙනවා. ඒ නිසා මෙම අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව වගේම ජාතික සමගිය පිළිබිඹු කරන අවස්ථාවක්.

මෙම භාරදූර කාර්යය සාර්ථකව ඉටු කර ගැනීමේදී අපේ නායක ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීම සහ නායකත්වය විශාල මෙහෙයක් ඉටු කරනවා. සමාජයේ විවිධ බෙදීම් හැලහැප්පීම් තිබෙන යුගයක, විවිධ බෙදීම්, ගැටුම් සමග පොරබදින යුගයක සාමකාමීත්වය, සහජීවනය සමඟ සියලු ජනතාව එක් පුද බිමකට කැඳවමින් ඉටුකරන මෙම ඓතිහාසික මංගල්‍යය මගින් අප නායක ස්වාමීන්වහන්සේ සිදු කරන අතිමහත් කැපවීම පෙන්නුම් කරනවා. ඒ නිසා උන්වහන්සේට අපි සෑමවිටම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම නව බස්නායක නිලමේතුමා ඇතුළු මීට දායක වූ සියලුදෙනා වෙත මාගේ ස්තූතිය පිරිනමනවා.

පෙරහර සමාප්ති ප්‍රකාශන සන්නස් පත්‍රය ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයින්ද, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී. නිශාන්ත, ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංඛ යන මහත්වරුද, ව්‍යාපාරික ප්‍රජාව සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-07-30

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගනී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img