ඔබ කියන්නේ, රාජ්‍ය බුද්ධි සේවය නොදැනම බෝම්බ පිපිරෙන්න තිබ්බා කියන එකද? ඔව් ස්වාමිනී …
පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විදෙස් බුද්ධි අංශයකින් කළ පුර්ව දැනුවත් කිරීමේ තොරතුරට අමතරව ප්‍රහාරයක් පිළිබඳ වෙනත් කිසිදු නිශ්චිත තොරතුරක් ලබාදීමට මෙරට රාජ්‍ය බුද්ධි සේවය අසමත් වු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ.
පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (29) පස්වන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.
එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පළමුව විමසා සිටියේ,”එක රැයකින් එළිවෙන්නේ නැහැ යැයි පැරණි සිංහල කියමනක් ඇතුවා සේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයද එක් රැයකින් සැළසුම් වුවක් නොවන බව ඔබ පිළිගන්නේ ද? ” යන්නය.
“ස්වාමිනි, සහරාන් ඇතුළු කණ්ඩායම අන්තවාදි මතවාදයක් ගෙන ගියාට මෙවැනි ප්‍රහාරයක් සිදුකළ යුතුයි කියන තීරණයට ඔවුන් කොයි අවස්ථාවේ පැමිණියා ද කියලා මට හරියට කියන්න බැහැ. ප්‍රහාරයෙන් පසු මට පෞද්ගලික තොරතුරක් ආවා සහරාන් තවත් දරුවෙකු අපෙක්ෂාවෙන් වෛද්‍යවරයෙකු පවා හමූවී තිබුණා කියලා. එවැනි දෙයක් ඇත්තටම වෙලා තිබුණානම් ඔහුගේ මනසට මෙවැනි විනාශකාරි සිතුවිල්ලක් කොයි මොහොතේ ආවද කියන එක මට කියන්න අමාරුයි. අනික ප්‍රහාරයක් පිළිබද විදෙස් බුද්ධි අංශයකින් කළ පෙර දැනුම්දීම් ස්ථිර කරගැනීමට හෝ මෙරට රාජ්‍ය බුද්ධි සේවය සමත් වුණේ නැහැ. ඒ පිළිබඳ ප්‍රහාරය වෙනකල්ම කිසිදු තොරතුරක් රාජ්‍ය බුද්ධි සේවය සොයාගෙන තිබුණෙත් නැහැ.” යැයි හිටපු පොලිස්පතිවරයා පැවසීය.
මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ,”සහරාන් ඇතුළු කණ්ඩායම මෙවැනි ප්‍රහාරයක් එල්ල කළේ ඔවුන් අයි.එස් සවිධානයේ මතවාදය පිළිගත් නිසා ද? ” යන්නය.
එයට පිළිතුරු දෙමින් හිටපු පොලිස්පතිවරයා කියා සිටියේ,” මට එහෙම කාගෙවත් මනසේ තිබ්බ දෙයක් ගැන මගේ මතය කියන්න බැහැ. ඔවුන් අයි.එස් මතය පිළිගත්තා වෙන්නත් පුළුවන්, අයි.එස් මතය ඔවුනට පෙළඹවීමක් කළා වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ ප්‍රහාරය වෙනත් කාගේ හරි වුවමනාවකට කළා වෙන්නත් පුළුවන්. නමුත් මට කියන්න තියෙන එකම දේ මේ සිදුවීමෙන් පසු ඇතිවූ සෝචනීයම තත්ත්වයට ලක්වුණ පුද්ගලයින් දෙදෙනාගෙන් කෙනෙක් හැටියට මේ සිදුවීම ගැන සියුම් ලෙස සොයාබැලිය යුතුයි කියන එකයි.”
යනුවෙන් පුජිත් ජයසුන්දර මහතා කියාසිටියේය.
මෙහිදි ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ,” ඔබ ඔය කියන්නේ මෙරට රාජ්‍ය බුද්ධි සේවය ඊශ්‍රායලය, පලස්තීනය වැනි රටවල වෙන සිදුවීම් ගැන ඔබව දැනුවත් කළා. නමුත් අප්‍රේල් 21 බෝම්බ පුපුරනකල් විදෙස් බුද්ධි තොරතුරට අමතරව රාජ්‍ය බුද්ධි සේවය තමන්ගේ කියලා කිසිම තොරතුරු තහවුරු කර ගැනීමක් කරගත්තේ නැහැයි කියන එකද..? ” යන්නය.
“ඔව් ස්වාමිනි, විදෙස් බුද්ධි තොරතුරට අමතරව අපේ රාජ්‍ය බුද්ධි සේවය ප්‍රහාරයක් පිළිබද කිසිදු තොරතුරු තහවුරු කරගැනිමක් සිදුකළේ නැහැ.”යනුවෙන් ජයසුන්දර මහතා පිළිතුරු දුන්නේය.
” ඔබ ඒ කියන්නේ අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් පුර්ව දැනුවත් කිරීමක් සිදු නොවුනානම්, මෙරට රාජ්‍ය බුද්ධි සේවය නොදැනම අප්‍රේල් 21 බෝම්බ පිපිරෙන්න තිබ්බා කියන එකද..?” යැයි කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා යළි ප්‍රශ්න කළේය.
” ඔව් ස්වාමිනි, එහෙම වෙන්නත් තිබුණා. රාජ්‍ය බුද්ධි සේවය විදෙස් බුද්ධි තොරතුර අපිට ලබාදුන්නා මිස එතනින් එහාට කිසිම දෙයක් කළේ නැහැ. අර්බුදකාරී දින 52 ආණ්ඩු කාලයේ විතරක් නෙමේ, ඊට කළින් ඉදලම රාජ්‍ය බුද්ධි සේවය රාජකාරි කළේ වෙන අරමුණක් සහිතව. මට ඒ ගැන සොයන්න බලතල තිබුණේ නැහැ. රටේ ප්‍රමුඛතම බුද්ධි අංශය වෙලත් රාජ්‍ය බුද්ධි සේවය කළේ වෙනත් රටවල සිදුවුන සිදුවීම් එක්ක මෙහෙත් වෙන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා කියලා පෙන්නපු එක විතරයි. ඊට අමතරව මේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේම කියලා නිශ්චිත තොරතුර ලබාදීමක්, නිගමන ඉදිරිපත් කිරීමක් හෝ උපදෙස් දීමක් රාජ්‍ය බුද්ධි සේවයෙන් කළේ නැහැ.” යනුවෙන් පූජිත් ජයසුන්දර මහතා පැවසීය.






















