කෑගල්ලේ කොවිඩ් ඔසුව – ආචාර ධර්ම කමිටුවේ තීරණය අද හෝ හෙට
කොවිඩ් වෛරසය මර්දනයට නිෂ්පාදනය කළ දේශීය ඖෂධය පිළිබඳව, ආචාර ධර්ම කමිටුවේ තීරණය අද (29) හෝ හෙට (30) ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතා අත්හදා බැලූ කොවිඩ් දේශීය ඖෂධය ලබාගන්නා රෝගීන් දින 03ක් තුල සුව වන බවට වතුපිටිවල රෝහලේ සිදුකළ සායනික පරීක්ෂණ 02කදී ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වූ බව “අද දෙරණ“ රටට අනාවරණය කර මාසයක් ගත වී තිබේ.
මේ වන විටත් එම ඖෂධය ශරීරයට අහිතකර නොවන බව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව තහවුරු කර ඇති අතර එම ඖෂධය නිෂ්පාදනය කිරීමටද ධම්මික වෙද මහතාට අවසර දී ඇත.
මේ අතර කොවිඩ් මර්දනයට අත්හදා බැලූ දේශීය ඖෂධ පිළිබඳ පරීක්ෂණවල ප්‍රමාදය ගැන බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ, විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි පවසා සිටියේ, එම පැණිය මඟින් පුද්ගලයෙකුට කිසිදු ශාරීරික හානියක් නොවන බව තහවුරු කර ඇති බවය.
එවන් පසුබිමක එම පරීක්ෂණ වාර්තා තව තවත් ප්‍රමාද කිරීම රට තුළ අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීමට හේතු වන බව ද උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම දේශීය ඖෂධ ගැන “අද දෙරණ“ සිදුකළ අනාවරණයෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එහි පරීක්ෂණ කටයුතු වල වගකීම ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යටතට පත්කළ අතර ඔහු අද දින පරීක්ෂණවල ප්‍රගතිය පිලිබඳ කරුණු පැහැදිලි කළේය.
“ඇතැම් අයට මේක ඉක්මනින් කර ගන්න බොහෝම කැමැත්තක් තියෙනවා. ඒ වගේම තවත් කණ්ඩායමක් හිටියා මේක අඩපණ කරන්න. බාධා කරන්න බලාගෙන විවිධ පිරිස් හිටියා. විශේෂයෙන්ම ආගමික මතවාද කරපින්නා ගත් අය වගේම බටහිර විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව මේ ලෝකේ තියෙන එකම දැනුම පද්ධතිය මිනිසාට ප්‍රතිකාරයක් කරන්න පුළුවන්. මිනිසාගේ ප්‍රශ්නවලට පිළිතුරක් දෙන්න පුළුවන් එකම දැනුම් පද්ධතිය කියලා හිතපු අය විවිධ ආකාරයේ බලපෑම් කළා. විශේෂයෙන්ම ආගමික විශ්වාසයන්ට ගරහමින් විවිධ ආගම්වල දෙවිවරුන්ට අපහස කරමින් සමාජ මාධ්‍ය යොදා ගෙන මහ ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ වගේම රටේ සියයට එකකට දෙකකට වඩා නැති ඡන්ද ප්‍රතිශතයක් ඇති අන්තවාදී වාමාංශික දේශපාලන බලවේග මේක දේශපාලනීකරණය කරලා. ඔවුන්ගේ භෞතිකවාදී මතවාද පැලපැදියන් කරන්න උත්සහ කිරීම තුළ මෙවැනි බාධා ඇති වුණේ. “






















