තම්බපණ්නියේ අතීතය සොයා විල්පත්තුව වනමැදට
අසුරු වෙළදාමට ප්‍රකට වු
කුදිරමලේ අශ්ව කන්ද
අප මේ ලෝකයට අයත් කොටසක්. මේ ලෝකයත් අපේම කොටසක්. සුවද විහිදවන සුමුදු මල් අපේ සහෝදරියෝ. පිණිමුවා, අශ්වයා, මේ සියල්ලෝම අපගේ සහෝදරයෝ. බබළන කදු ශිඛර, තණබිම් වළ සාරය, පෝනියන්ගේ හා මිනිසුන්ගේ සිරුරේ උණුසුම, මේ හැම දෙයක්ම අයත් වන්නේ එකම පවුලකට.
– රතු ඉන්දියානු ගෝත්‍රික නායක සියැටෙල්
විසල් වු විල්ලු සමුහයක් මා පසුපසින් ඇති වනගැබේ තැනින් තැන පිහිටා ඇත. විල්ලු ගොඩක් ඇති නිසාවෙන් තමයි මේ වන බිම විල්පත්තුව බවට පත් වන්නේ. විල්පත්තුව ජාතික උද්‍යානය අනුරාධපුර නගරයේ ඉදන් බැලූ විට දී කිලෝමීටර් 30 ක් පමණ වයඹ දිග වෙරළ තීරයේ වයඹ පළාත සහ උතුරු මැද පළාතට අතරමැදිව තමයි පිහිටලා තියෙන්නේ. දිස්ත්‍රික්ක ලෙස ගත් කල තුනකට අයත්. ඒ අනුරාධපුර, පුත්තලම සහ මන්නාරමයි. විල්පත්තුව යනු ජෛව විවිධත්වයෙන් පිරිපුන් අපූර්ව වු වනජීවී රක්ෂිතයක් මෙන්ම මෙරට ප්‍රකාශිත ඉපැරණිම වනජීවී රක්ෂිතයද වේ. වර්ෂ 1938 පෙබරවාරී මස 25 වැනි දින හෙක්ටයාර් 1,31,667.10 ක වපසරියකින් සමන්විතව ප්‍රකාශයට පත් වු විල්පත්තුව ආශ්‍රිතව විල්ලු පරිසර පද්ධතීන් අපමණය. එනම් සොබාවික හේතුන් මත නිර්මාණය වන ජලාශ විවිධ වු ස්වරූප වලට අනුව ගංගා, ඇළ – දොළ, දිය උල්පත්, වැව්, දිය බිම්, කෙත් ආදී වශයෙන් නම් කරයි. මෙවැනි වු සොබාවික නිමැවුම් සියල්ලම හැදින්වීම සදහා භාවිතා කළ පොදු නමක් තිබී ඇත. ඊට බාහිර වු මිනිසා විසින් නිර්මාණ කළ එරෙන මඩ සහිත කුඹුරේ සිට දිය කෙත් හෙවත් දිය බිම්ද ඇතුළත් වන පරිදි විල් යන්න ඒවා හදුන් වන පොදු ව්‍යවහාරයයි. තෙතමනය සහිත ජලය රදා පවතින මෙවැනි පහත් බිම් වැසි සමයේදී ජලයෙන් පිරී ඉතිරී යයි. වගුරු ස්වභාවයක් දරනා එවැනි බිම් විල්ලු ප්‍රදේශ බවට පත් වේ. පත්තුව වශයෙන් නිර්වචනය වන්නේ සීමා – මායිම් දක්වන නියමයක්ය. එනම් ගම් කිහිපයක් , තුලාන් කිහිපයක්, වසම් කිහිපයක් එකතු වී සෑදෙන සීමාවකි. එනම් පෙර සදහන් කළ ආකාරයේ විල්ලු ස්වභාවයේ බිම් බොහෝ සේ ව්‍යාප්ත වුණු ප්‍රදේශයට විල්පත්තුව නාමය පටබැදි ඇත. නමට උචිත අයුරින්ම බොහෝ විල්ලු ඇත්තේය සඵත කරමින්දෝ මෙම වනපෙත පුරාවටම ව්‍යාප්තව ගිය විල්ලු බිම් 40 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇත. ඉන් 27 ක් ප්‍රධානය.
අපගේ ගවේෂණය සිදු වෙන්නේ විල්පත්තුව ජාතික උද්‍යානයේ පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කුදිරමලේ ආශ්‍රිතවයි. ඒ කියන්නේ විජය – කූවේණියගේ හමු වීම සිදු වු ප්‍රේමණිය ඉසව්ව ආශ්‍රිතවයි. කුදිරමලේ හා බැදුණු ඉතිහාසය පිළිබදව ගවේෂණය කිරීමේදි විවිධ වු කාල වකවානු වෙත ආපස්සට යන්න සිදු වෙනවා. කුදිරමලේ, තම්බපණ්නි, තම්මැන්නාව, අශ්ව කන්ද, පෘතුගාල් බොක්ක, හිප්පෝරය ආදි වු විවිධ නාමකරණයන් මේ ස්ථානය හැදින්වීමට භාවිතා වෙන්නේ ඒ ඒ කාල වකවානු වළදී ව්‍යවහාර සහ භාවිතයට ගත් ක්‍රියාකාරකම් හේතුවෙන් බවත් අතීතය පිළිබදව විමර්ශනය කිරීමේදි පසක් කර ගත හැකියි.
බුදුන් වහන්සේ ප්‍රථම වරට ලක් දිවට වැඩම කර උතුම් සද්ධර්මය දේශනා කළ පින්බිම මහියංගණයයි. ඒ සදහා මුල් වුණේ අපේ රටේ ආදීතම පුරවැසියන් වු යක්ෂ සහ නාග ගෝත්‍රික ජනයා ලෙස හැදින් වුවත් එහි ඇති සදොස් බවක් මා නොදකිමි. මන්ද යත් මේ දෙපාර්ශවය අතර සිදු වු ආරවුලක් සංසිදුවීම සදහා සුමන සමන් දෙවිදුන්ගේ ආරාධනයෙන් ගෞතම බුදුන් වහන්සේ ලක් දිවට වැඩම කිරීමට යෙදුණු බව පුරාවෘතවල සදහන්ය. ඒ විජය කුමරුගේ ලංකාගමනයටත් පෙරාතුවයි. පැරණි පාලි පුරාවෘත වළ සදහන් කර ඇත්තේ බුදුන් වහන්සේ මෙරටට වැඩම කරන්නට පළමු මෙහි වාසය කර ඇත්තේ යක්ෂයින් බවටත්, මෙය යක්ෂයින්ගෙන් පිරිණු දිවයිනක් වු බවටත්, ඒ යක්ෂයින් බුදුන් වහන්සේ ගේ ධර්මය පිළිගෙන, ඒ අනුව ජිවිතය හැඩගස්සවා ගනිමින් මිනිසුන් බවට පත් වු බවත්ය. අතිතයේ මහියංගණය යනු යක්ෂ ගෝත්රකයින්ගේ ප්‍රධාන නගරය බවට පත්ව තිබූ අතර මහානාග නම් වු උද්‍යානයේ යක්ෂයින්ගේ හමුවක් සිදු වු අවස්ථාවේදී එම ස්ථානයට වැඩම කළ බුදුන් වහන්සේ මේ යක්ෂයින් දමනය කිරීමට වැසි, කුණාටු, අන්ධකාරය මවා පාමින් පාතිහාර්ය පෑම හේතුවෙන් යකුන් බිය වු අතර තමන් මේ සොබාදම් ව්‍යසනයන්ගෙන් මුදවා ගන්නා ලෙස බුදුන් වහන්සේ අභිමුව වැද වැටී ඇත. බුදුන් වහන්සේ සම් පළසක් අතුරා ඒ මත වැඩ හිද පලසේ සතර පැත්තෙන් ගිනි ජාලා සතර අත විහිදුවමින් යක්ෂයින් දිවයිනේ වෙරළ තෙක්ම පිටමං කර යවා ඇත.
බුදු සමිදුන් මහියංගණයට වැඩම කර වීමෙන් වසර 45 කට පසුව විජය කුමරුන්ගේ ලංකා ගමනය සිදු වු අතර එහිලා විශේෂි වු සිදු වීම වන්නේ විජය කුමරුන් අපේ රටට ගොඩ බට දිනයේම බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමද සිදු විමයි. විජය කුමරුන් සහ පිරිවර තම්මැන්නාවට ගොඩ බසින කාලය වන විටදී ඒ වෙරළ ආශ්‍රිතව යක්ෂ ගෝත්‍රික ජනතාව ජනාවාස පිහිටුවා ගෙන සිට ඇත. විජය කුමරුන්ගේ මිතුරන් කිහිප දෙනෙක් බැල්ලකගේ දසුනක් දැක මේ නම් මිනිස් වාසයක් ළගම ඇති බවට වන පෙර නිමිත්තක් බවට තේරුම් ගෙන බැල්ල පසු පස යන අතරේ කූවේණිය නමැති යක්ෂ නායිකාව කපු කටින දසුන දැක ඒ බව විජය කුමරුන්ට සැල කිරීමෙන් පසු කූවේණිය හා විජයගේ හමුවත්, ඉනික්බිති ඔවුන්ගේ විවාහ වීම දක්වා ඒ බැදීම් තර වීමත්, විජය කුමරුන්ගේ රාජ අභිශේකය සදහා කුවේණිය විසින් යක්ෂ ගෝත්‍රයම පාවා දීමත්, ඉනික්බිති විජය රජ වීමත්, අනතුරුව කූවේණිය සහ විජයට දාව කූවේණිය බිහි කළ දරුවන් දෙදෙනා සහ කූවේණියව විජය විසින් ප්‍රතික්ෂේප කරමින් එළවා දැමීමත් ආදි ලෙස එක් එක් වැදගත් අංශයන් වෙන් කර ගතහොත් ඒ සියල්ලම සිදු වු භුමිය වන්නේ අපගේ ගවේෂණයට මුල් වන මේ කුදිරමලෙයි.
මෙදවස ගල් පර වළ හැපෙමින් නිරන්තරවම බිදෙනා රල ගෙඩි වළ සෝ සුසුම් හඩින් නිබදවම රජකළ පරිසරයක් දිස් වුවත් පෙර සදහන් කළ අතීතය තුළදී කොතෙක් නම් සිදු වීම් මේ බිම මුල් කර ගෙන සිදු වන්නට ඇතිද? විජය හා යක්ෂයින් අතරේ සිදු වු සටන් හේතුවෙන් කොතෙක් නම් රුහිරය මේ බිමට එක් වන්නට ඇතිද? මේ රත්පැහැයෙන් දිස් වන පාංශු නිමැවුම් පවසන්නේ ඒ අතීත දුක් බර කථාවද? විජය කුමරුන් සහ පිරිවර දිවයිනට ගොඩ බට පසුව අත්ල බිම තබා භූමියට වැද වැටෙමින් අපගේ අත් තඹ පැහැයෙන් බැබලවු මේ බිම තම්බපණ්නීයයි ගරු බුහුමන් දැක්වුවත්, ඔහු සිදු කළ යක්ෂ ගෝත්රක සංහාරය හේතුවෙන් මේ බිමේ තඹ පැහැය තව තවත් රත්පැහැයට හැරෙන්නට ඇතැයි මා සිතමී. ඒ මාගේ හැදෑරිමයි. ඒ සදහා එකග වීමට හෝ නොවිමට ඔබටත් අයිතියක් ඇත. නමුත් මේ බිමේ ගත කරනා හැම තත්පරයක්ම පවසන්නේ අතීතය පිළිබද රහසකි. දුක් ගැනවිල්ලකි. සිනා කථා නම් නැති තරම්ය. රාස්සිගේ අව් රැල්ලෙන් මේ තඹ පැහැ බිම තව තවත් රත් පැහැයට හරවන්නේ ය යන්න සත්‍යයකි.
මන්නාරම් බොක්ක දෙසට නෙරා ඇති ආකාරයට පිහිටා ඇති කුදිරමලේ යනු කදිම නාවික තොටකි. ඒ බවට සනාථ කරමින්දෝ මෙහි නටබුන් බවට පත්ව ඇති ප්රදිපාගාරය සාක්ෂි දරයි. දුරාතීතයේ මුහුදු ගමන් වළ නිරත වුණු යාත්‍රිකයින්ට මෙය කදිමට දර්ශනය වන්නටද ඇත. ග්‍රීක ජාතික ප්ලිනිගේ වාර්තාවකට අනුව ක්‍රිස්තු වර්ෂ 41 – 54 ත් අතර කාලයේ කුදිරමලෙයි ප්‍රදේශය හදුන්වා ඇත්තේ හිප්පෝරය ලෙසටය. එසමයේ රෝම අධිරාජ්‍යයේ ක්ලෝඩියස්ගේ බදු එකතු කරන්නෙක් ඉන්දියන් සාගරයේ යාත්‍රා කිරීමේදී තමන්ගේ නාවික යාත්‍රාව මෝසම් සුළං ප්රවාහයකට හසුව ගසා ගෙන විත් නතර වී ඇත්තේ මේ හිප්පෝරයේයි. ඔය කාලයේ අපේ රට පාලනය කළ චණ්ඩමුඛසීව නමැති රජු මේ බදු අයකරන්නා සතුව තිබූ සියලු වස්තූන් සහිත නැව යටත් කර ගෙන රාජසන්තක කර ඇත. නමුත් සීසර් අධිරාජ්‍යයා ගැනත්, එරටේ ආර්ථක දියුණුව ගැනත් ඇසීමෙන් අනතුරුව ඔහු ගැන පැහැදුණු රජු මේ ආගන්තුකයාව ආචාරශීලීව පිළිගෙන දෙරට අතරේ වෙළද සම්මුතියකට එළැඹීමටද කටයුතු කර ඇත. පෙරළා ආගන්තුකයා සමග සිව් දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් එරටට යවා ඇත්තේද මේ කුදිරමලෙ තොටෙන් යැවූ යාත්‍රා මගින්ය.
කුදිරමලෙයි හැදින්වීම සදහා භාවිතා වන තවත් නමක් වන්නේ අශ්ව කන්ද යන්නයි. ඒනම භාවිතයට එන්නට හේතුව වන්නට ඇතැයි සනාථ වන නටබුන් කුදිරමලේ සිට උතුරු දෙසට විහිදි යන ගල් තලාවේ සනිටුහන්ව ඇත. ඒ අඩි 35 ක් බමණ උසැති අශ්වයෙකුගේ පිළිරුවක් මේ ස්ථානයේ තිබෙන්නට ඇතැයි නිගමනය කළ හැකි, මෙදවස දී විද්‍යාමාන වන අශ්වයෙකුගේ නශ්ඨව ගිය පසු පස පා යුගළක නටබුන්ය. මේ අශ්වයා තමන්ගේ ඉදිරි පා යුගළ ඉහළට ඔසවා ගෙන සිටින ඉරියව්වෙන් සිටින්නට ඇති බවටත්, අශ්වයාගේ පිට මත මේ සත්වයා හසුරුවන වරපට අතින් අල්වා ගත් මිනිසෙකුගේ රුවක්ද තිබෙන්නට ඇතැයි මතයක් පවති. මේ ආසන්නයේ හින්දු දේවාලයක් තිබෙන්නට ඇතැයි තවත් මතයකි. ඊට යාබදව මුහුදු වෙරළ සමීපයට වන්නට මුසුලිම් ශාන්තුවරයෙකුගේ සොහොනක් පිහිටා ඇත. එනම් මුස්ලිම් වෙළදුන් මෙම ස්ථානයේ වෙළදාමේ යෙදෙන්නට ඇති අතර අශ්ව කන්ද යනු ප්‍රකට වෙළද මධ්‍යස්ථානයක් වන්නටද ඇත. මේ හා සබැදි එක් පුරාවෘත්තයක කියැවෙන්නේ මේ ප්‍රදේශය රූමත් පාලිකාවක් විසින් පාලනය කර ඇති බවයි. ඇය නමින් ඇලිරන් නොහොත් ඇලිසෙබ්රාරනි නම් වීලු. අරාබි වෙළදුන් සමග ගනුදෙනු කොතෙක් සිදුවීද යත් නම් පවා අරාබියෙන් මෙරටට දායාද විය. මේ රැජිණ මුතු වලටත් අශ්වයින්ටත් බොහෝසේ ඇලුම් කළ තැනැත්තියකි. මේ අවට මුහුද මුතු බෙල්ලන්ගෙන් ගහණය. එවකට මුතු බෙල්ලන් කැඩිම ප්‍රධානතම කර්මාන්තයක් බවට පත් ව තිබී ඇත. අනර්ඝ මුතු ලබා ගත් අරාබි වෙළදුන් අශ්වයින් ඊට හුවමාරු කර ගන්නටද ඇත. ඒ සදහා සොබාවික වාරායක බදු වු කුදිරමලෙයි තොටේ පිහිටීම වෙළද යාත්‍රාවන් හැසිරවීමේදී පහසුවක් වන්නටද ඇත. මේ අශ්ව පිළිරුව අතිත වෙළද තොටේ මැකී යන අතීතය පිළිබදව වන නිහඩ සාක්ෂියක් විය හැකිය. අතීතයේ මුතු කර්මාන්තය සම්බන්ධව කුදිරමලේ සිට වාන්කාලෙයි දක්වාම ප්‍රකට කලාපයක් සේ හදුන්වයි.
අතීතයේ සැගව ගිය අපමණවු කතා ගොන්න සගවා ගෙන නිහඩ වතක් පුරනා කුදිරමලේ පිළිබද සැබෑ සාක්ෂි කරුවන් වන්නේ මෙදවස ශේෂ වු මේ නටබුන් පමණි. කාලයාගේ අවැමෙන් මේවා ක්ෂය වෙමින් පවති. ඒ පිළිබදව අධ්‍යයනය කරමින් හෙළි දරව් කර ගැනීම නූපන් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් වත්මන් පරපුර විසින් ඉටු කළ යුතු යුතුකමක් සහ වගකීමක්ද වන්නේමය. විධිමත් වු අවසරයක් සහිත අධ්‍යයනයන්ට හැර අවිධිමත් ක්‍රියාකාරකම් සදහා මෙවැනි වු වනජීවී රක්ෂිත තුළ පිහිටා ඇති පුරාවිද්‍යාත්මක ස්ථානයන් තෝරා නොගත යුතුය. මේ ඇත්තේ අපේ අතිතයයි. ඒ අතීතය පිළිබදව හැදෑරිය හැකි වැදගත් සලකුණු විනාශ කිරීමට ඉඩ නොතැබිය යුතුයි. වනජීවී රක්ෂිතයක් ප්‍රකාශයට පත් වීම හරහා ඒ වපසරියට ඇතුළත් සොබාසුන්දරත්වය සේම මෙවැනි වු පෞරාණික වැදගත් ස්ථානයන්ද සුරක්ෂිත වීම සිදු වේ. වනජිවී රක්ෂිතයන් ඇසුරේ අනිසි මිනිස් ක්‍රියාකාරකම් සදහා ඉඩ ප්රස්තාවයන් නොමැත. ජාතික උද්‍යානයක් තුළ නම් ඒ සදහා කිසිසේත්ම අවසරයක් නැත. විල්පත්තුව ජාතික උද්‍යානය ඊට කදිම නිදසුනක් වේ.
ඉදින් පාරිසරික විවිධත්වය වගේම සිරිලක ඓතිහාසික පුරාවෘත්ත එකිනෙකට ගළපමින් නොකිලිටි සුන්දරත්වයක් සිත පුරා විද ගන්න නම් මෙවැනි වු වනපෙත් කදිම තෝතැන්නකි. එවැනි වු පුරා කථා සැගවුණු වනගතේ සොබා සුන්දරත්වය පාඨකයින්ට සමීප කිරීම අප අභිප්‍රායයි.
සදමල් රශ්මී .ශ්‍රී. බුද්ධික
………………………………………..
සේයා රූ රෝහිත ගුණවර්ධන






























