ආණ්ඩුවේ අසමත් ආර්ථික කළමණාකරණය හේතුවෙන් රටේ ජනතාව පීඩාවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද (22) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,
“ඊයේ මැදියම් රැයේ සිට තෙල්මිල වැඩි කළා. කොහොම ද මෙහෙම විශ්‍රාමිකයෝ ජීවත් වෙන්නේ. කොහොම ද රාජ්‍ය සේවකයෝ ජීවත්වෙන්නේ. කොහොමද රටේ ජනතාව ජීවත්වෙන්නේ. ගුරුවරුන් ට සොච්චම ලබාදුන්න එක ගෑස් මිල වැඩිකරලා ඔක්කෝම අල්ලලා තියෙන්නේ. අපේ රටේ ගොවි ජනතාව පොහොර නැතුව, රසායනික පොහොර නැතුව, වල්නාශක කෘමිනාශක නැතුව අද මහපාරට ඇද දමලා තියෙන්නේ. අභිමානවත් ජීවිතයක් ගත් කරපු ගොවියා අද දුප්පත්කමින් පෙළෙනවා. මොළ 7 ඇමතිවරයෙක් ඒ ක්‍රමවේද හරහා හැම මිලක් ම බස්වනවා කිව්වා. දැන් මොළ 7ට මොනා උනාද කියන එක අපි දන්නේ නෑ. අද අපේ රටේ පෝළිම් යුගයක් නිර්මාණය වෙලා. සීනි පෝළිම තියෙනවා. හාල් පෝළිම තියෙනවා. ගෑස් පෝළිම තියෙනවා. කිරිපිටි පෝළිම තියෙනවා. 70 – 77 යුගය දැන් මැවිලා පේනවා. 69 ලක්ෂයක ජනවරම ගත්තේ, 70 – 77 යුගය නිර්මාණය කරන්න ද? මේ රටේ සමස්ත ලක්ෂ 220 ම දුප්පතුන් බවට පත්කරන්න ද? මේ වරම ලැබුණේ කියලා මම අහනවා. වියත් සංවර්ධනයක් නෑ. දැන් තියෙන්නේ විපත් සංවර්ධනයක්. දවසින් දවස ඔප්පු කරනවා මේ ආණ්ඩුවට වැඩකරන්න බෑ. වැඩි කරන්න පුළුවන්. අද මේ ප්‍රශ්නයට උත්තරයක් දෙයි ද නැද්ද කියලා. මොකද අද උත්තර නෑ. ආණ්ඩුවට කටඋත්තර නෑ.”
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන –
“විපක්ෂ නායකතුමා විසින් අසන ලද ප්‍රශ්නයට මීළඟ දිනයේ දී අමාත්‍යවරයා විසින් පිළිතුරු දෙනවා ඇති. අග්‍රහාර විශ්‍රාමය දුන්නේ ඔබතුමන්ලාගේ ආණ්ඩුවේ විශ්‍රාම ගිය අයට පමණයි. තව ලක්ෂ 3කටවත් අහිමි කරා. අපේ රජය යළි එය නිවැරදි කරලා, සියලු විශ්‍රාමිකයින්ට දුන්නා. ඒකවත් අගය කරලා කතා කළේ නෑ. කොච්චර වැරදිද? ලක්ෂ ගණනාවකට ඒක නොදී තමන්ගේ ආණ්ඩු කාලයේ විශ්‍රාම යන අයට විතරක් දුන්න එක. එහෙම හැසිරිලා විපක්ෂ නායකතුමා රට වටේම ප්‍රශ්න පටලවාගෙන කතා කළා. විශ්‍රාමිකයින් ගැන කතා කරනවා නම් 27.2 යටතේ, රටේ හැමදේම ගැන කතා කළා. රාජ්‍ය පරිපාලන ඇමතිතුමාගෙන් උත්තරය ලැබෙන්නේ. රාජ්‍ය පරිපාලනයෙන් අසන ප්‍රශ්නයට විතරයි. එහෙම නැතුව අහන හැම ප්‍රශ්නයට ම ඇමතිතුමා විසින් පිළිතුරු සපයනවා ඇති. ගොවියන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. ගොවි ජනතාවට අපට ලබාදෙන්න පුළුවන් වැඩි මිලක් ලබාදුන්නා. අපේ යුතුකම අපේ රටේ කෘෂිකර්මාන්තයත් වැවිලි කර්මාන්තයත් ශක්තිමත්ව නඟා සිටුවීම. ඒකට රජය කැපවී සිටිනවා. කතා කරපු දේ ඔබේ ආණ්ඩු කාලයේ කළේ නෑ. එහෙම නැතුව ලැජ්ජා නැතිව අද ඇවිල්ලා කතා කරනවා.”
සමගි ජන බලවේගයේ පා.ම රංජිත් මද්දුමබණ්ඩාර –
“සභානායකතුමා සභාව නොමඟ යවනවා. විශ්‍රාමිකයින්ට දුන්න විශ්‍රාම වැටුප කැපුවේ මේ ආණ්ඩුවෙන්.”
සමගි ජන බලවේගයේ පා.ම ජේ.සී.අලවතුවල –
“විශ්‍රාම වැටුප ගිය මාසේ ඉදලා ගෙවන්න තිබුණ ඒවා නවත්වලා තියෙනවා. අපි තමයි ගිය වර පඩිය දෙගුණයක් කරේ රාජ්‍ය සේවකයින්ගේ පඩිය.”
සමගි ජන බලවේගයේ පා.ම ආචාර්ය හර්ෂ ද සිල්වා –
“මම නිවැරදි කරන්න කැමතියි සභානායකතුමාව. පෙන්ෂන් ටික ගෙව්වේ මෙහෙමයි ගිය ආණ්ඩුවේ.”
කථානායක –
“ඊට පිළිතුරු දෙන්න පස්සේ.”






















