ඓතිහාසික දිඹුලාගල ආරණ්ය සේනාසනය නිධන් හොරුන්ගෙන් ආරක්ෂා කර දෙන මෙන් ආරණ්යවාසී හිමිවරු රජයෙන් ඉල්ලීමක් කරති.
නිධන් හොරුන් විසින් මේ වන විටත් ආරණ්ය සේනාසනයේ නටඹුන් බොහෝමයකට දැඩි හානි සිදුකර ඇති බව උන්වහන්සේලා පවසති.
මහරහතන් වහන්සේ දස දහසක් වැඩසිටියේ යැයි සැළකෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්ය සේනාසනය බෞද්ධ ජනයාගේ කීර්තියට හා වන්දනීයත්වයට පාත්ර වූ සුවිශේෂි ආරණ්ය සේනාසනයකි.
අතීත රජ දවසේ භාෂා 18ක් ඉගැන්වූ ස්ථානයක් ලෙස ඓතිහාසික නාමල් පොකුණ රජමහ විහාරස්ථානය ද පිහිටා තිබෙන්නේ දිඹුලාගල කඳු වළල්ල මධ්යයේය.
සීගිරි චිත්රවලට සමාන චිත්ර ඇති ලෙන, කිසිදා නොසිඳෙන ඖෂධ පොකුණ නිසාත් දිඹුලාගල ආරණ්ය සේනාසනය විශේෂ වේ.
නමුත්, එහි ඇති පුරාවිද්යා වටිනාමකින් යුත් පෞරාණික නටඹුන්වලට නිධන් හොරුන් සිදුකර ඇත්තේ දැඩි විනාශයකි.
මෙම ගල්ලෙන තුළ බුදුන්වහන්සේගේ පිරිනිවන් මංචකයේ අනුරුවක් දක්නට ලැබෙන අතර නිධන් හොරුන් එයට ද හානි කර තිබේ.
දිඹුලාගල ආරණ්ය සේනාසනයේ හිමිවරුන්ගේ එකම ඉල්ලීම මෙම ඓතිහාසික ආරණ්ය සේනාසනය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර දෙන ලෙසය.






















