එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකාව දැරූ වියදමේ හානි පූරණ මුදල මෙරටට ගෙවීමට අදාළ නෞකාවේ නියෝජිතයන් වාචිකව එකඟ වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා “අද දෙරණට” සඳහන් කළේය.
මෙම නෞකාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා හෙට (14) දිනයේ නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්ථමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ වෙළෙඳ නැව් දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් සහභාගී වීමට නියමිතය.
සමපූර්ණයෙන්ම ගින්න නිවා දමා ඇති නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන විට මඩකලපුවට නැගෙනහිරින් නාවික සැතපුම් 52 ක් දුරින් ගැඹුරු මුහුදේ ස්ථානගතව පවතී.
තවදුරටත් නෞකාව ටග් යාත්‍රා යොදා ගනිමින් ආරක්ෂා සහිතව ගැඹුරු මුහුදේ රඳවා තබාගෙන සිටින බව නාවික හමුදාව සඳහන් කළේය.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්යය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගැනීම ඊයේ (12) සිදුකර ඇත.






















