හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කර තිබෙන මූලික විරෝධතාව පිළිබඳව කරුණු දැක්වීම සඳහා එම නඩුව අගෝස්තු මස 31 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
එම නඩුව අද (18) කොළඹ මහාධිකරණය නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කරන බව දන්වා සිටියේය.
ඒ අනුව අදාළ මූලික විරෝධතා ලිඛිතව අගෝස්තු මස 31 වනදා ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළේය.
වර්තමානයේ රටේ තිබෙන වාතාවරණය මත විත්තිකාර චම්පික රණවක මහතාට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටීම අනවශ්‍ය බවත් මෙහිදී විනිසුරුවරයා නියෝග කර සිටියේය.
2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයකු බරපතළ රිය අනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.






















