දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල්වල අධ්‍යයන කටයුතු අද (03) ආරම්භ වෙයි.
දෙසැම්බර් මස 23 වනදා පාසල් සඳහා නිවාඩු ලබාදීමට පියවර ගැණුනු අතර අද දිනයේ සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව යළි පාසල් පවත්වාගෙන යාමට බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මාස 6ක පමණ කාලයක් පාසල් වසා තැබීමට සිදුවීම හේතුවෙන් 2021 වසර අවසාන පාසල් නිවාඩුව දින 10කට පමණක් සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනු ලැබීය.
පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමේදී 27ට වැඩි සිසුන් පිරිසක් සිටින පන්ති කාමරවල අධ්‍යයන කටයුතු සඳහා කොටස් වශයෙන් සිසුන් කැඳවීමට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.
පාසල් අද දිනයේ සිට ආරම්භ කළද 2021 අධ්‍යයන වර්ෂය ලබන අප්‍රේල් මස 08 වන දින දක්වා ක්‍රියාත්මක වන බැවින් ශ්‍රේණි උසස් කිරීමක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කළේය.
මේ අතර අද සිට රාජ්‍ය සේවයේ කාර්යාල කටයුතු ද සාමාන්‍ය පරිදි ආරම්භ වෙයි.
නව වසරේ ආරම්භයත් සමග අද දිනයේ සිට සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට තීරණය කර ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පැවසීය.
කොවිඩ් වසංගතය හේතුවෙන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට මීට පෙර අවස්ථාව ලබාදී තිබුණි.
කෙසේවෙතත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන ලෙස සියලු කාර්ය මණ්ඩල වෙත උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේය.






















