පොලීසිය සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු හදිසියේ මියයෑමෙන් පසු සිදුකළ පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතවී සිට ඇති බවට අනාවරණය වී තිබේ.
පිළියන්දල පොලීසිය විසින් ඉකුත් 7වනදා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 500ක් සමගිනි.
එම මත්ද්‍රව්‍ය සැකකරු විසින් ගිලදමා තිබූ අතර පසුව ඔහු මියගියේය.
කරදියාන ප්‍රදේශයේ මාර්ග බාධකයකදී ඉකුත් 7වනදා රාත්‍රියේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් පරීක්ෂා කිරීමේදී එහි සිටි එක් පුද්ගලයෙකු මෙම කුඩා පාර්සලය ගිලදමා තිබුණි.
පසුව ඔහුව රෝහල්ගත කිරීමට පොලීසිය පියවර ගත්තේය.
මෙම සිද්ධියෙන් මියගොස් තිබුණේ මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විවාහකයෙකි.
ත්‍රීරෝද රථයේ සිව්දෙනෙකු ගමන් කර තිබූ අතර අනෙක් පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබුණේ මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා කරදියාන ප්‍රදේශයට පැමිණි බවය.
එසේ මත්ද්‍රව්‍ය මිලදී ගැනීමෙන් පසු ආපසු යමින් සිටියදී පොලිස් මාර්ග බාධකයේදී ඔවුන් පරීක්ෂාවට ලක්වී තිබුණි.
ගිලදැමූ දේ පිළිබඳව අදාළ සැකකරු හෙළිකර නොතිබූ අතර අනෙක් සැකකරුවන්ගේ ඒ පිළිබඳව අනාවරණය වී ඇත.
පසුව ඔවුන්ද පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍යවල බරකිරීම සඳහා භාවිත කරන විද්‍යුත් තරාදියක්, රුපියල් 70,000ක මුදලක් සොයාගෙන තිබේ.
ඒ අනුව මත්ද්‍රව්‍ය ගිලදැමූ බවට සැක කෙරූ පුද්ගලයාව මත්ද්‍රව්‍ය මිලදී ගත් ස්ථානය සොයාගැනීම සඳහා පොලීසිය විසින් රැගෙන ගොස් ඇති අතර අතරමගදී ඔහුට අධික ලෙස දහදිය දැමීම සිදුවී තිබේ.
ටික වේලාවකින් වමනය සහ අපහසුතාවයක් පෙන්නුම් කිරීම නිසා ඔහුව පිළියන්දල මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.
පසුව සැකකරු වෛද්‍යවරයාට පුද්ගලිකව කතාකර තමන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් ගිලදැමූ බවට පවසා තිබේ.
ඒ අනුව සැකකරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
එසේ රෝහල්ගත කිරීමෙන් පැය කිහිපයකට පසු සැකකරු මියගොස් තිබේ.
සැකකරුගේ පෙර වැරදි පරීක්ෂා කළ පොලීසිය පැවසුවේ ඔහු මීට පෙරද මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙකු බවය.






















