2019 පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ් වසංගතයත් සමග බිඳවැටුණු සංචාරක කර්මාන්තය කෙරෙහි මේ වනවිට බලාපොරොත්තු සහගත තත්ත්වයක් උදාවී තිබේ.
සංචාරක අමාත්‍යාංශය පවසන්නේ, පසුගිය සැප්තැම්බර් මස සිට මේ දක්වා සංචාරකයින්ගේ පැමිණීම එක් ලක්ෂ තිස් හතර දහස (134,000) ඉක්මවන බවය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සංචාරක කර්මාන්තය ලබාදෙන්නේ විශාල අත්වැලකි.
ශ්‍රී ලංකාවේ දේශගුණික රටාව, මෙරටටම ආවේණික ආහාර, රට වටකරගත් වෙරළ තීරයන්, ඓතිහාසික සිද්ධස්ථාන ඇතුළු සුවිශේෂී උරුමයන් මෙරට සංචාරක කර්මාන්තය පෝෂණය කරනු ලබයි.
ඒ නිසාම මේ කර්මාන්තය සමඟ සෘජු සහ වක්‍රව අත්වැල් බැඳගෙන සිටින පිරිස ලක්ෂ 30කට ආසන්නය.
2018දී උපරිම තලයට ආ මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබුණු මුදල අමෙරිකානු ඩොලර් බිලියන 4.3කි.
කෙසේ වෙතත්, 2019 එල්ල වූ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කළේය.
නමුත් එම වසරේදීද අමෙරිකානු ඩොලර් බිලියන 3.6 ක් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
එහෙත්, ලොව පුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතයෙන් අපටද බේරීමට හැකිවූයේ නැත.
ඩොලර් බිලියන ගණන් ඉපැයූ සංචාරක කර්මාන්තය 2020 දී අමෙරිකානු ඩොලර් මිලියන 682ක් දක්වා අඩුවූයේ අප ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමිනි.
ලොව පුරා රටවල් සංචරණ සීමා දැඩි කරද්දී 2020 දී මෙරට සංචාරකයින්ගේ පැමිණීම 507,704 ක් දක්වා පහළ වැටුණි.
කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමත් සමග සංචාරකයින්ට විවෘත කෙරුණු අප රටට එම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මේ වන විට යම් බලාපොරොත්තුවක් ගොඩනැගෙමින් පවතී.
සැප්තැම්බර් මස සංචාරකයින්ගේ පැමිණීම 13,547ක් ලෙස වාර්තා වෙද්දී ඔක්තෝබර් මාසයේදී එය වර්ධනය වූයේ 22,771ක් ලෙසිනි.
ඔක්තෝබරයට සාපේක්ෂව නොවැම්බර් මස මෙරටට පැමිණි සංචාරකයින් ගණන දෙගුණයකින් ඉහළ ගියේය.
නොවැම්බර් මස මෙරටට පැමිණි සංචාරකයින් ගණන 44,294කි.
දෙසැම්බර් 01 වනදා සිට 22 වනදා දක්වා සංචාරකයින්ගේ පැමිණීම 53,563ක් වීම අඛන්ඩ ප්‍රගතියේ සුවිශේෂී සාධකයකි.
පසුගිය කාලයේ පාලුවට ගිය ඇල්ල, හික්කඩුව, උනවටුන, පාසිකුඩා වෙරළ තීරයන් මෙන්ම ඓතිහාසික අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර ආශ්‍රිත ප්‍රදේශවල සංචාරකයින් දක්නට ලැබීම සුබවාදී තත්ත්වයකි.
සංචාරක අමාත්‍යාංශය පවසන්නේ 2025 ඉලක්ක ගත සංචාරකයින් සංඛ්‍යාව මිලියන 7 ක් වන අතර අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 10 ක් බවය.






















