බේරුවලින් ආසාදිතයින් 20ක් – ධීවර වරාය තාවකාලිකව වැසේ
බේරුවල ධීවර වරායේ වෙළෙඳුන් 20 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබුණේ අහඹු ලෙස සිදුකළ පීසීආර් පරීක්ෂණ මගිනි.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්රිත ආසාදිතයින් සංඛ්‍යාවද තවදුරටත් ඉහළ යමින් පවතින අතර ඒ සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාළු වෙළෙඳසැළ් වසා දමා තිබේ.
බේරුවල ධීවර වරායෙන් අහඹු ලෙස තෝරාගත් ධීවරයින් 100 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ඊයේ (22) සිදුකර තිබුණි.
ඒ අතරින් 20 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
මොවුන් සියලු දෙනාම බේරුවල ධීවර වරායේ දිගු කාලීන වෙළෙඳුන් වන අතර
බේරුවල, මග්ගොන, මුංහේන, නල්ලහේන, මොරගොල්ල හා මරදාන යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මේ පිළිබඳ අදහස් දක්වමින් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු මහතා මෙසේ පැවසී.
“ඊයේ හවස අපිට වාර්තා වෙනවා පෙරේදා අලුත්ගම බස්නැවතුම් පොළේ සාම්පල් 74ක් කරනවා. එහිදී අලුත්ගම ප්‍රධාන මාළු ව්‍යාපාරිකයෙක් ඊයෙ රාත්‍රියේ පොසිටිව් වෙනවා. ඒ අනුව තමයි ජයවර්ධනපුර ලැබ් එකෙන් කියන්නේ විශාල ප්‍රමාණයක් මේ බේරුවල වරායේ ඊයේ දින අපි උදේ කරපු සාම්පල 100න් පොසිටිව් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ සියයට 20ක ප්‍රමාණයක්. “
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍ය තුෂාර වාස්ගුණවර්ධන මහතා කියා සිටියේ, මේ තත්ත්වය සමග වැඩිපුර රෝගීන් එම ප්‍රදේශවලින් වාර්තා විය හැකි බවය.
මෙම තත්ත්වයත් සමග බේරුවල ධීවර වරාය අද (23) තාවකාලිකව වසා දැමීමට පියවර ගැණුනි.
එහි ධීවරයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 700 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ අද සිදුකිරීමට නියමිතය.
ඒ අතර බේරුවල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල සහ අලුත්ගම මාළු වෙළෙඳ සංකීර්ණයත් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.






















