මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවය – සිව් දෙනෙක් ජීවිතක්ෂයට
මහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ නොසන්සුන්තාවය හේතුවෙන් මියගිය සිව් දෙනෙක් ගේ සිරුරු මේ වන විට රෝහලේ ඇතිබව රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි.
එසේම තුවාල ලැබූ රැඳවියන් 24 දෙනෙක් ද රෝහලට ඇතුළු කර තිබේ.
මහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ මෙම නොසන්සුන්තාවය පාලනය කිරීමට පියවර ගෙන ඇතිබව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
මේ වනවිට බන්ධනාගාරයේ තුළ රඳවා ඇති පිරිස් අතර ද ආරවුලක් ඇති වී ඇති බව ඇය කීය.
එක් පිරිසක් එහි ගිනි තැබීමක් ද කර ඇති බව වාර්තා වන බවද ඇය පවසයි.
මෙම සිදුවීම ගැන සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට ද කටයුතු කර තිබේ.
මේ අතර අද දහවල් මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්විය.
අද (29) පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා ඇත.
බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,
“බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් විසින් මේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීම මත, බන්ධනාගාර නිලධාරීන් විසින් බලය පාවිච්චි කිරීමක් සිදුකර තිබෙනවා. එම බලය පාවිච්චි කිරිමේ දී එක් රැඳවියක් ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. තුවාල ලබා ඇති රැඳවියන් මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.”






















