මුතුරාජවෙල රක්ෂිතය තුළ සිදුකරගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර රැසක් ඊයේ (28) විනාශ කර තිබේ.
ඒ ගුවන් හමුදා බුද්ධි ආවේක්ෂණ පද්ධතිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ අවි සහ යුධ උපක්‍රම අංශය හා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය එක්වය.
මීට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් හා බෝට්ටු කිහිපයක් ද යොදාගෙන තිබුණි.
මේ අතර, පෙරේදා දිනයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 03 ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බිරිඳ සතුව තිබූ වෑන් රථයක් ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපාරධ විමර්ශන ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.
මේ පිළිබඳව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම වෑන් රථය භාවිත කරමින් පසුගියදා කටුනායක ගුවන්තොටුපළ හරහා මෙරටින් පළායාමට උත්සාහ කළ “වැල්ලේ සාරංග” ඇතුළු අංගොඩ ලොක්කාගේ ගෝලයන් සිව්දෙනා ගුවන්තොටුපළ ට පැමිණ ඇති බවය.
මොවුන් සිව්දෙනා හා හෙරොයින් කිලෝ ග්‍රෑම් 03 ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා එකම ජාලයක ජාවාරම්කරුවන් බව මෙම වෑන් රථය අත්අඩංගුවට ගැනීමෙන් පසුව අනාවරණ වී තිබේ.
මේ අතර, හෙරෝයින් ග්‍රෑම් 12 සමඟ සැකකරුවන් සිව්දෙනෙකු දුම්ගල්පිටිය පොලිස් නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
එසේම අඩප්පන් ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක සඟවා තිබූ ගිනි අවියක් අද (29) , යුද හමුදාව විසින් සොයාගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලබාදී තිබේ.






















