ශ්රී ලංකා නාවික හමුදාව සහ ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (28) උතුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්රවාහනය කරමින් තිබූ රත්රං කිලෝ 05 ග්රෑම් 500ක ප්රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදාවේ උතුරු නාවික විධානයට ලද තොරතුරකට අනුව ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව උතුරු මුහුදේ කරෙයිනගර් දූපතේ කෝවිලන් ප්රදීපාගාරයේ සිට මුහුදු සැතපුම් 14.5ක් දූර මුහුදු ප්රදේශයේදී මෙම මෙහෙයුම සිදුකර ඇත.


එහිදී සැක සහිත ඩිංගි යාත්රාවක් නිරීක්ෂණය කර එහි තිබී ශ්රී ලංකාවේ සිට මුහුදු මගින් ප්රවාහනය කරමින් තිබූ පාර්සල් 4ක ආරක්ෂිතව අසුරන ලද රත්රං කිලෝ 05 ග්රෑම් 500ක ප්රමාණයක් සහ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.
වයස අවුරුදු 30 සහ 32 යන වයස්වල පසුවන අදාළ සැකකරුවන් සහ රත්රං ප්රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.






















