රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා පත්වේ
රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා තෝරා පත්කර ගෙන තිබේ.
රාජ්‍ය මුදල් කාරක සභාව අද (09) පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක රැස්විය.
මෙහිදී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විසින් ස්ථිර කළ බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.
අනතුරුව නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළ මුදල් කාරක සභාවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්විණි.
කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත, විදුර වික්‍රමනායක, ඩී. වී. චානක, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය හර්ෂ ද සිල්වා, හේෂා විතානගේ, ඉසුරු දොඩන්ගොඩ, සහන් ප්‍රදීප්, මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ අනුප පැසකුවල් යන මන්ත්‍රීවරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ලබන 12 වැනිදා නැවත කාරක සභාව රැස්වීමට නියමිත අතර 2021 විසර්ජන පනත් කෙටුම්පත මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.






















