ලොකු අප්පච්චිට හිනාවක් දියන් පුතේ – මහනුවර දී මියගිය බිළිඳිය ගේ ලොකු තාත්තා කී සංවේදී කතාව
මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් නිවසක් කඩාවැටීමේ ඛේදවාචකයෙන් දිවි අහිමි වූ අඹුසැමි යුවළගේ සහ මාස එකහමාරක් වයසැති බිලිඳියගේ අවසන් කටයුතු අද (23) සිදුකෙරුණි.
කටුගස්තොට මහයියාව පොදු සුසාන භූමියේදී ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණේ ඥාතීන්, හිතවතුන් ඇතුළු බොහෝ දෙනෙකුගේ සෝ සුසුම් මැදය.
ජීවිතක්ෂයට පත්වූ චමිල ප්‍රසාද්ගේ වැඩිමහල් සොයුරා අද එංගලන්තයේ සිට අවමංගල්‍යයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි අතර නිරෝධායනයට රැගෙන යන අතරතුර ඔහු සුසාන භූමිය වෙත පැමිණියේය.
ඔහු ගිලන් රථයක් තුළ සිටිමින් මියගිය බිළිඳිය ගේ ජායාරූපයක් පෙන්වමින්, “ලොකු අප්පච්චිට හිනාවක් දියන් පුතේ කිව්වහම හිනා වුණා” යනුවෙන් අඬමින් පැවසීය.






















