සංවර්ධනයට මුවා වී සිදුකරන තවත් පරිසර විනාශයක් ?
කරුවලගස්වැව – ගල්විල පාරිසරික උද්‍යානය තුළ සිදුවී ඇති දැවැන්ත පාරිසරික විනාශයක් සම්බන්ධයෙන් වගකිව යුතු අංශවල අවදානය වහා යොමු විය යුතුව ඇතැයි කරුවලගස්වැව, ලුම්බිණි විහාරයේ, විහාරාධිපති පුජ්‍ය මානෑවේ පංඤ්ඤාරාම හිමි පවසති.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගල්විල පාරිසරික උද්‍යානය හෙක්ටයාර් 21 ක පමණ විශාලත්වයකින් යුක්තය. තබ්බෝව අභය භූමිය සහ නවගත්තේගම ප්‍රදේශයේ ඇති රක්ෂිත වනාන්තර මෙම පාරිසරික උදයානයට අයත් වේ.
2017 වර්ෂයේ දී විශේෂ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද ගල්විල පාරිසරික උද්‍යානය පසුගිය ජූලි මස 17 වැනිදා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් විවෘත කර තිබේ.
පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ගල්ලෙන් මෙන්ම පැරණි ගස් වර්ග රැසක් ද මෙම උද්‍යානය තුළ දැක ගැනීමට හැකියාව ඇත.
විවිධ වන සතුන් ද මෙම උද්‍යානය තුළ සැරිසරන බව පරිසරවේදීන් මෙන්ම සත්ත්ව ගවේෂකයින් විසින් හඳුනාගෙන ඇති අතර, වසර ගණනක් පැරණි පළු, වීර, කරුවල වැනි දුර්ලභ ශාක වර්ග රැසක් ද මෙහි තිබේ.
වන අලින් ඇතුළු සතුන්ට අවශ්‍ය ජලය රැස් කිරීමට යැයි පවසා, වැලි සහ පස් ජාවාරමක්ද වනෝද්‍යානය තුළ සිදුවන බවක් දක්නට ඇතැයි වාර්තා වේ.
ගොවි සංවිධානවල අවසරය ඇතිව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් ලබා දී ඇති අවසර පත්‍රය අනුව සිදුකරනු ලබන්නේ දැවැන්ත ජාවාරමක් මිස සංවර්ධනයක් නොවන බවට ද මෙහි හේතු රැසක් පවතී.
වන සතුන්ට අවශ්‍ය ජලය රැස් කිරීම සඳහා වැව් සකස් කිරීම වෙනුවට ඔවුන් උද්යාදනය තුළ තැන තැන වළවල් හාරමින් සොයා ඇත්තේ වැලි සහ පස් බව අනාවරණය වන බව “අද දෙරණ “ වාර්තාකරු පැවසීය.
“පුත්තලම දිස්ත්‍රික්කයේ තැන් තැන්වල සිද්ධ වෙන පරිසර හානිය ගැන පසුගිය දින කීපය තුළ කථා කළා. මේත් එක පරිසර හානියක් තමයි. හැබැයි මේ සම්බන්ධයෙන් කිසිදු රජයේ නිලධාරියෙක් කථා කරන්නේ නෑ. ඒකට හේතුව වෙලා තියෙන්නේ සිදු වී ඇති විනාශය රජයේ නිලධාරීන්ගේ අනුග්‍රහය මත සිදුවීමයි.
කිසියම් ව්‍යාපෘතියක් ආරම්භ කළ විට එය කොන්ත්‍රාත්කරුවන්ට ලබා දීලා පැත්තකට වෙලා ඉන්න නිලධාරීන්ට බැහැ. ඒ අය අධීක්ෂණ කටයුත්ත සිදුකළ යුතුමයි. එසේ නොකිරීමේ ප්‍රතිඵලය අද ගල්විල පාරිසරික උද්‍යානයෙන් දැක ගත හැකියි.“
“මෙම උද්‍යානය පවත්වා ගෙන යන්න විදෙස් රටවල් වලින් සහාය ලැබෙන බව දැන ගැනීමට තියනවා. සිද්ධ වෙලා තියන හානිය ඇත්තටම ඒ අය දැක්කොත් කිසිම සහායක් අපිට ලැබෙන එකක් නැහැ. ඒ නිසා මම කියන්නේ ජනාධිපති තුමා මෙන්ම පරිසර ඇමතිතුමත් මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙලා කටයුතු කරන්න වෙනවා. එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ පාරිසරික උද්‍යානයක් නිසා තිබුණු වනාන්තරයත් නැතිවෙලා යන එකයි.“යනුවෙන් ලුම්බිණි විහාරයේ විහාරාධිපති පුජ්‍ය මානෑවේ පංඤ්ඤාරාම හිමි වැඩිදුරටත් පැවසූහ.






















