සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
එහි සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ අද (23) දිනයේ තවත් වෘත්තීය සමිති කිහිපයක් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට තීරණය කර ඇති බවය.
වාර්ෂික වෛද්‍ය මාරුවීම් ඇතුළු ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙරේදා දිනයේ සිට මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබේ.
කෙසේවෙතත් මෙම වැඩ වර්ජනය ආසාධාරණ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.
මේ අතර සබරගමුව පළාතේ සියලු රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද දිනයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ රත්නපුර රෝහල ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති බවය.
“මේ වර්ජනයත් එක්කම සබරගමුව පළාතේ ශික්ෂණ රෝහල් දෙකේ සේවය ඇනහිටිනවා. ඒ වගේම මහ රෝහලක් තියෙනවා. ඒකේ සේවය ඇනහිටිනවා. ඒ වගේම මුලික රෝහල් 6ක්, ප්‍රාදේශීය රෝහල් 32ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 19ක සේවය ඇනහිටිනවා. වර්ජනය හා සේවාවන් ඇනහිටීම සඳහා දායක වෙන්නේ හෙද සේවාව, පරිපුරක වෛද්‍ය සේවයට අදාළ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදී, විකිරණවිද්‍යා තාක්ෂණවේදී ඇතුළු සියලු පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ. අපි බලාපොරොත්තු වෙනවා සබරගමුව පළාතේ ඊට අමතරව මහජනතාවයක් දැනුවත් කරන්න දැවැන්ත විරෝධතා පෙළපාලියක් රත්නපුර රෝහලේ සිට ගමන් කරන්න.”






















