රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වැලි අවශ්‍ය වුවත් වැලි ලබාගැනීම සඳහා සිදුකරනු ලබන නීතිවිරෝධි ක්‍රමවේද හේතුවෙන් අද වනවිට ඇතැම් ප්‍රදේශවල විශාල පරිසර හානි සිදුවී තිබේ.
එහෙත් නිලධාරින් ඒ පිළිබඳ අනුගමනය කරන්නේ නිද්‍රාශීලි පිළිවෙතක්වීම කනගාටුවට කරුණකි.
මේ පුවත ඊට කදිම නිදසුනකි.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නීති රෙගුලාසිවලට අනුව වැලි කැණීම් සිදුකරන ස්ථාන නැවත ගොඩකිරීමට අදාළ බලපත්‍ර ලාභියා බැඳීසිටින නමුත් එලෙස පුනරුත්ථාපනය නොකළ කැණීම් ස්ථාන ගණන 950ක් පවතින බව එම කාර්යංශය වාර්තා කර තිබේ.
එවැනි ස්ථාන රාශියක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දක්නට ලැබේ.
මෙලෙස නීති රෙගුලාසි කඩකරන පුද්ගලයින්ට වසර ගණනාවක් තිස්සේ නීතිය ක්‍රියාත්මක නොකිරීම බරපතළ පාරිසරික ගැටලු රැසක් නිර්මාණය කර තිබේ.
භූ විද්‍යා සමීක්ෂන හා පතල් කාර්යාංශයේ නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් අද වනවිට අම්බලන්තොට වලේවත්ත, මාමඩල, ජන්සගම යන ග්‍රාම නිලධාරි කොට්ඨාසවල කුඹුරු ඉඩම්වල වැලි කැණීම් සිදුවන ආකාරය ද අප කැමරාවේ සටහන් විය.
මෙලෙස කැණීම් සිදුකිරීමට නිලධාරින්ගේ අවසර හිමිව ඇත්තේ පසුගිය කාලය තුළ සරුසාරව වගාකළ කුඹුරු ඉඩම්වලවීම ද කනගාටුවට කරුණකි.
අප සිදු කළ සොයා බැලීමකදී අනාවරණ වුයේ හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් කුඹුරු තුළ වැලි කැණීමට නිර්දේශ ලබාදී ඇති බවය.
එහෙත් අම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් තොරතුරු දැනගැනීමේ පනත හරහා ලබාගත් දත්තවලින් පෙනී යන්නේ හම්බන්තොට ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ වාරි ඉංජිනේරුවරයා විසින් අදාළ ස්ථානයේ වැලි කැණීම සඳහා නිර්දේශ නොකරන බවය.
ඒ අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවදානයටද මේ ගැටලුව යොමුකෙරුණි.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා,
“මේ පිළිබඳව අපි සම්පූර්ණ පරීක්ෂණයක් කරනවා. මේවා පිටුපස ඉන්නේ බලවත් කට්ටිය. පිටුපස නෙමෙයි ඉදිරියේම ඉන්නවා. මේවා හොයන්න ගියාමත් යම් යම් බලපෑම් එනවා.”






















