සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් සිදු කරන ලද කතාව – හේවාහැට මැතිවරණ කොට්ඨාශය
අද දින මා විශේෂයෙන්ම හේවාහැට මැතිවරණ කොට්ඨාශයේ, දෙල්තොට නගරය කේන්ද්‍ර කොට ඔබ තමුන්නාන්සේලා මේ ආකාරයෙන් අමතන්නට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මා අතිශයින්ම සතුටට පත් වනවා.
මේ අද දින මා පවත්වන්නට යෙදුන අට වන (08) රැස්වීමයි. වාහනයේ පැමිණෙන විට විඩාවක් දැනුනත් ඔබ තමුන්නාන්සේලා දැකීමෙන් එම වෙහෙස, තෙහෙට්ටුව ඇත්ත වශයෙන්ම නැතිව ගියා වගෙයි. මිත්‍රවරුණි, හේවාහැට මැතිවරණ කොට්ඨාශයේ තමුන්නාන්සේලාගේ ප්‍රශ්න ගැටළු ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම ඔබ තමුන්නාන්සේලාගේ ඉඩම් ප්‍රශ්න තිබෙන බව මා හොඳින් දන්නවා. නිවාස ප්‍රශ්න තිබෙනවා. තවත්, රැකියා ප්‍රශ්න තිබනෙවා. මා ඔබ තමුන්නාසේලාට කියන්න කැමතියි ඉඩම් ප්‍රශ්නයට අපි විසඳුමක් ලබා දී වැඩි වැඩියෙන් උදා ගම්මාන සකසා ඒ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන බව මේ අවස්ථාවේ මා කියන්න කැමතියි.
එසේම මෙම ප්‍රදේශයේ ප්‍රධාන නගර හතරක් තිබෙනවා. මාරස්සන, දෙල්තොට, තලාතුඹය සහ ගලහ කියන ප්‍රධාන නගර ඒවා අතර වනවා. ඒ ආකාරයෙන්ම උප නගර ගණනාවකුත් මෙහි තිබෙනවා. මිත්‍රවරුණි, අප නව සංකල්පයක් ආරම්භ කරනවා. ඒ තමයි ‘ග්‍රාම රාජ්‍ය – නගර රාජ්‍ය සංකල්පය’. එම ග්‍රාම රාජ්‍ය, නගර රාජ්‍ය සංකල්පය තුළින් හේවාහැට මැතිවරණ කොට්ඨාශයේ සියලුම ගම්මාන, සියලුම උප ගම්මාන, සියලුම නගර, සියලුම උප නගර, අප රාජනායක මැතිතුමාගේ නායකත්වයෙන් ගම හදා නගර හදා රට හදන වැඩපිළිවෙලක් තුළ අප ක්‍රියාත්මක කරනවායි කියන දේ මා මෙහිදී ඔබ තමුන්නාන්සෙලාට ප්‍රකාශ කරන්නට කැමතියි.
ඒ ආකාරයෙන්ම, මෙම ප්‍රදේශයේ අප කර්මාන්ත පුරවරයන් ගණනාවක් ආරම්භ කර රැකියා නොමැති තරුණ තරුණියන්ට සහ රැකියා අපේක්ෂා කරන්නවුන්ට, රැකී රක්ෂා ලබා දෙන්නට අප කටයුතු කරන බව මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. හේවාහැට මැතිවරණ කොට්ඨාශය ගැන කතා කරන විට අපගේ අනුර ඩැනියෙල් මැතිතුමා අපට කිසිදාකවත් අමතක කරන්නට බැහැ. අනුර ඩැනියෙල් මැතිතුමා, රණසිංහ ප්‍රේමදාස මැතිතුමාත් සමග ඉතාමත් සමීප සම්බන්ධතාවයක් තිබුණු පුද්ගලයෙක් වෙනවා. අනුර ඩැනියෙල් මැතිතුමා මෙම හේවාහැට මැතිවරණ කොට්ඨාශයට සුවිශේෂී සේවාවක් ඉටු කළ අයෙක්. ආදරණීය හිතාදර මිත්‍රවරුණි, එදා ශ්‍රීමත් ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ලාගේ සමයේ මේ හොවාහැට ට අති විශිෂ්ඨ සේවාවක් ඉටු වූවා සේම, අපේ රාජනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ කිරිඇල්ල ඇමතිතුමා, හකීම් ඇමතිතුමා, ලකී ජයවර්ධන ඇමතිතුමා මෙන්ම අපේ සමන්ත මැතිතුමා, නිශ්සංක රන්වල මැතිතුමා ඇතුළු අපේ අපේක්ෂක කණ්ඩායමේ පහළොස් දෙනාගේම ශක්තිය තුළින් අප හේවාහැට දිනනවා. නුවර දිස්ත්‍රික්කය දිනනවා. අනිවාර්යෙන්ම දුරකතනයෙන් … දුරකතනයෙන්… දුරකතනයෙන්… සමඟි ජන බලවේගය ආණ්ඩුව පිහිටුවනවා කියන කාරණය මං තමුන්නාන්සේලාට කියන්න කැමතියි. (ජය ඝෝෂා ඇසෙයි).
හිතාදර මිත්‍රවරුනි, අද අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිල තියෙන්නෙ. අද අපේ රටේ වෙළඳ ප්‍රජාව එනම් ව්‍යාපාරික ප්‍රජාව සම්පූර්ණයෙන්ම අනාථ වෙලා සිටින්නෙ. රටේ කර්මාන්ත ශාලා වැසී යමින් තිබෙනවා. රැකී රක්ෂා අහිමි වෙමින් තිබෙනවා. මම ඔබතුමන්ලාට කියන්න කැමතියි අපි අනිවාර්යෙන්ම දුරකතන ආණ්ඩුවක් තුළින් මේ ජන සමාජයේ දුප්පත් ජනතාවට, නැති – බැරි ජනතාවට ස්වයං රැකියා කරන ජනතාවට, අසරණබවට පත් වුණු ජනතාවට, අනිවාර්යෙන්ම රටේ ආර්ථිකය යළින් ගොඩ නංවනකම් පවුලකට මසකට රුපියල් විසි දහස (රු. 20,000/- ) බැගින් ලබා දෙන්නට අප කටයුතු කරන බව.
ඒවගේම, අද ලෝකයේ බොර තෙල් බැරලයක මිළ පතුලට ම වැටිල තිබෙන මෙම අවස්ථාවේ මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි අපේ ආණ්ඩුව බිහි කරල හරියටම පැය විසිහතරක් ඇතුළත, තෙල් මිළ අඩුකරනවා මයි කියන කාරණය. හිතාදර මිත්‍රවරුණි, රුපියල් විසි දහසක් ලබා දෙන විට, තෙල් මිළ අඩු වන විට, ජනතාවගේ අතේ සල්ලි වැඩි වනවා. ජනතාවගේ අතේ සල්ලි වැඩි වන විට ඉතිරි කිරීම, ආයෝජනය සහ පාරිභෝජනය ක්‍රියාත්මක වන විට රටේ ආර්ථිකය ඉහළට යනවා. මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි, ජනතාවගේ පැත්තෙන් ගත යුතු තීන්දු සියල්ලක්ම අරගෙන අපේ මෙම මාතෘ භූමිය ස්වයංපෝෂිත සහ සෞභාග්‍යසම්පන්න සංවර්ධිත රටක් බවට පත්කරනවා’යි කියන කාරණය මං තමුන්නාන්සේලාට කියන්න සතුටුයි.
මිත්‍රවරුණි, මෙම දිස්ත්‍රික්කයේ ම ඇමතිවරයෙක් ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවකට ඇවිත් කිව්ව නේද මාර්තු මාසයේ විදුලි බිල කපනවායි කියල. අප්‍රේල් මාසයේ විදුලි බිල කපනවායි කියල. එය සිදු වුනාද? මං අහන්න කැමතියි එම බිල කපා දැමුවාද කියල. ඔවුන් විදුලි බිල අහෝසි කළාද? නැහැ මිත්‍රවරුණි. දැන් මේ වන විට අලුත් විදුලි බිල සියල්ලටම ලැබිල තියෙනව නේද? එම බිලේ මාර්තු මාසයේ බිලත් තියෙනවා, අප්‍රේල් මාසයේ බිලත් තිබෙනවා. මැයි මාසයේත් ජූනි මාසයේත් සියල්ල එකට එකතු කර මේ අහිංසක ජනතාවගේ කර පිට බර පටවන අසාධාරණයක් මෙම ආණ්ඩුව කරල තියෙන බව හොඳින්ම පෙනෙනවා.
නමුත් අපේ ආණ්ඩුව බලයට පැමිණි විට මාර්තු මස විදුලි බිලයි, අප්‍රේල් මස බිලයි ගෙවපු සියලු දෙනාට ඒ මුදල ආපසු ලබා දෙන බව මා මෙම අවස්ථාවේදී කියන්න කැමතියි. මිත්‍රවරුණි, මේ ආණ්ඩුව කිව්වා, සියයට හතරේ (4%) සහන පොළියට සහන ණය ලබා දෙනවයි කියල. එම ණය මුදල ලබා දුන්නද? එක්කෙනෙක් හෝ සිටිනවද එම මුදල ලබාගත්? කිසිම කෙනෙක් නැහැ මිත්‍රවරුණි.ආණ්ඩුව හැමවෙලාවෙ ම කරන්නෙ බොරුව. හැම වෙලාවෙම කරන්නෙ වංචාව






















