කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 40කට ආසන්න සංඛ්‍යාවකට මේ වනවිට කොවිඩ් -19 වෛරසය වැළඳී තිබීම හේතුවෙන් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ විමර්ශන කටයුතු සිදුකිරීම යම් ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම විමර්ශනයේදී සාක්ෂි සටහන් කරගැනීමට සිදුව ඇත්තේ මිනුවන්ගොඩ අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින්ගෙන් බැවින් මෙම ගැටලු මතුව ඇති බවයි හෙතෙම පෙන්වා දෙයි.
එහිදී නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ “මේ පිළිබඳව නීතිපති උපදෙස් ලැබුණු විගස විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කළා. නමුත් එතන පොඩි ප්‍රශ්නගත තත්ත්වයක් තියෙනවා. ඔබ දන්නවා කොළඹ අපරාධ කොට්ඨාසයෙත් මේ වනවිට 40කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයෝ බවට පත්වෙලා තියෙනවා. ඒ අපරාධ කොට්ඨාසයෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමුකළ නිලධාරීන්. ඉතින් එකකොට ඒ සඳහා ක්‍රියාකරන්න අමාරුයි. ඊළඟ කාරණය තමයි මේ සඳහා සාක්ෂි සටහන් කරන්නත් වෙන්නේ මිනුවන්ගොඩ ඒ කර්මාන්ත ශාලාවේ ඉන්න යම් යම් ආකාරයේ සේවකයින්ගෙන්. මේ නිසාත් යම් ප්‍රමාදයක් තියෙනවා. කෙසේවෙතත් මේ විමර්ශනය කරගෙන යෑමට තමයි පොලිස්පතිතුමා දැනුම්දීලා තියෙන්නේ. කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂවරයා දැනුම් දීලා තිබ්බා ආසාදිත තත්ත්වයත් එක්ක ඇතිවුණු අපහසුතාවය ගැන. නමුත් අනිවාර්යයෙන්ම ඒ විමර්ශනය අඛණ්ඩව සිදු කිරීමට තමයි පොලිස්පතිතුමා තීරණය කරලා තියෙන්නේ.” යනුවෙනි.
අද (06) උදෑසන දෙරණ අරුණ වැඩසටහන සමග එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙම අදහස් පළ කළේය.
මේ අතර, බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ කණ්ඩායම පිළිබඳ ව වහාම තමාට තොරතුරු ලබාදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ඊයේ (05) උපදෙස් දුන්නේය.
ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව තමා නිරීක්ෂණය කළ බවද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබුණි.






















