මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ විමර්ශන කමිටුව මේ වන විට බන්ධනාගාරයට ගොස් සාක්ෂි සටහන් කර ගනිමින් සිටී.
මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් කමිටුවක් පත්කළේය.
එහි සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනි වීරවර්ධන මහත්මිය පත්කරනු ලැබීය.
මීට අමතරව ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර එහි සෙසු සාමාජිකයින් වේ.
ඒ අනුව බන්ධනාගාර ගැටුමට හේතු වූ කරුණු සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ කාර්යභාරයයි.
ඊට අමතරව සතියක් ඇතුළත කෙටිකාලීනව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර මේ සම්බන්ධයෙන් පසුගියදා අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ප්‍රශ්නයකට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (03) දිනයේ මෙලෙස පිළිතුරු ලබාදුන්නේය.
“කමිටුවට අපි කියලා තියෙනවා මාසයකින් අපිට සම්පූර්ණ වාර්තාවක් දෙන්න කියලා. ප්‍රායෝගික හැකි නම් සතියකින් මට අතුරුවාර්තාවක් ලබා දෙන්න වහාම ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. මට ලැබී ඇති තොරතුරු අනුව එම කමිටුවේ සාමාජිකයින් මහර බන්ධනාගාරය නිරීක්ෂණය කිරීම සඳහා යාමට නියමිතයි. ඊයේ දවසේ අපි පොලීසිය සහ ආරක්ෂක අංශ සම්බන්ධ වෙලා දැනටමත් මේකට සම්බන්ධ වෙලා ඉන්න අයව නිදහස් කිරීමේ දී ඇප මත ඔවුන්ව සමාජගත කිරීම සඳහා ක්‍රමවේදයක් සාකච්ඡා කරගෙන තිබෙනවා. අද කොවිඩ් මධ්‍යස්ථානයේ පවත්වන සාකච්ඡාවේ දී ඒ පිළිබඳව කථා කිරීමට නියමිතව ඉන්නවා. ඒ වගේම ඇප ලබාදීලා ඇප කොන්දේසි සපුරා ගන්න බැරුව ඉන්න අයට ඒ ඇප කොන්දේසි සපුරා ගැනීම සඳහා කාලයක් ලබා දීමට කටයුතු කරමින් ඉන්නවා.“






















