“බුරවි“ සුළි කුණාටුව මේ වන විට මන්නාරම සහ පූනරින් අතර වෙරළට ආසන්නයෙන් පවතින අතර එය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ සමග ඉදිරි පැය කිහිපය තුළ සුළිකුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ.
සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 70 – 80 පමණ වන අතර, විටින් විට පැ.කි.මී 90 දක්වා වැඩි විය හැකිය.
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී 100 -150 ක පමණ තද වැසි ඇති විය හැකිය.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර සිටියේ, ඇති වු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 100ක් පමණ අර්ධ හානි සිදුව ඇති බවය.
“ඊයේ රාත්‍රියේ පටන් ආපදා දිස්ත්‍රික් කළමනාකරණ ඒකකය අඛණ්ඩව පැය 24 පුරා විශේෂ මෙහෙයුම් රැසක් දියත් කළා. ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු සියලුම කණ්ඩායම් ඒ සඳහා උපරිම සහය දැක්වුවා. දිස්ත්‍රික් ලේකම්තුමන්ලා, ප්‍රාදේශිය ලේකම්තුමන්ලා, සියලුම රාජ්‍ය යාන්ත්‍රණයන් මේ සඳහා සහයෝගය ලබාදුන්නා. අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හැටියට අවශ්‍ය දැනුවත් කිරීමේ මෙහෙයුම් සහ අවශ්‍ය වුවහොත් ඉවත් කිරීම් සඳහා දායකත්වය ලබා දීලා තිබෙනවා. නිවාස 100කට වැඩි ගණනක් අර්ධ හානි වාර්තා වුණා. ආපදාවක්වීමට පෙර 1000කට අධික පිරිසක් තාවකාලිකව ඉවත් කිරීම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක හරහා සිදුකරනු ලැබුවා. ආපදා කළමනාකරණ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත ඒ අවශ්‍ය පරිදි මුල්‍ය ප්‍රතිපාදන පෙර සුදානම ලෙස යොදවා තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඇති වු මෙම සුළි කුණාටු තත්ත්වය නිසා බලපෑ අහිතකර බලපෑම් මෙවන විට බොහෝදුරට පාලනය වෙලා තියෙනවා.“
මේ අතර, ජනතාවට අවශ්‍ය දැනුවත් කිරීම් සඳහා අඛණ්ඩ සේවාවන් සැලසීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හදිසි මෙහෙයුම් ඒකකය සුදානමින් සිටී.
එය ඇමතුම් අංකය 117 යන දුරකථන අංකයෙන් පැය 24 පුරා ක්‍රියාත්මකව පවතී.
කාලගුණ වාර්තාව අනුව නැවත දැනුම්දෙන තුරු ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසත් ධීවරයන්ගෙන් ඉල්ලා සිටී.






















