මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතැම් ග්‍රාම සේවා වසම් තුළ සිදු කරමින් ඇති නීතිවිරෝධී හා පරිසරයට හානිකර වූ වැලි ගොඩ දැමීමේ කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.
පරිසර යුක්ති කේන්ද්‍රය සහ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් ඇතුළු හය දෙනෙකු විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එහි වගඋත්තරකරුවන් ලෙස විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා, නීතිපතිවරයා ඇතුළු හත් දෙනෙකු නම් කර තිබේ.
පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සුදුවැල්ල, මුගුණවටන, පොතුවිල, හේනේපොළ, සෙම්බු කුට්ටිගල ඇතුළු ග්‍රාමසේවා වසම් කිහිපයක සිදුවෙන මහා පරිමාණ වැලි කැණීමේ කටයුතු හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදු ඇති බවය.
භූ විද්‍යා හා පතල් කාර්යාංශය මගින් නිකුත් කළ බලපත්‍රවල අඩංගු කොන්දේසිවලට පටහැනිව මෙම වැලි කැණීම් කටයුතු සිදුකෙරෙන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මේ හේතුවෙන් ප්‍රදේශයේ පොල් වගාවට අහිතකර බලපෑමක් එල්ල වී තිබෙන බව ද සඳහන් කළේය.
බලපත්‍ර මගින් නියම කර ඇති ගැඹුරට වඩා අතිශය දරුණු ආකාරයෙන් සිදුකරන වැලි කැණීම් කටයුතු හේතුවෙන් මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක පානීය ජල ව්‍යාපෘතිවල ජල මුලාශ්රවලට හානියක් සිදුව ඇති බව පෙන්වාදෙන පෙත්සම්කාර සංවිධානය එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශයේ පිහිටි ගං ඉවුරු කඩා වැටීමේ අවදානමක් මතුව තිබෙන බව ද සඳහන් කර තිබේ.
මෙවැනි අවිධිමත් සහ අනතුරුදායක වැලි කැණීම් හේතුවෙන් ප්‍රදේශයේ ගොවි බිම්වලට ජලය සැපයෙන ජල මුලාශ්රවලට ද අහිතකර බලපෑමක් සිදුව තිබෙන බව පෙත්සමෙන් පෙන්වා දෙයි.
මේ හේතුවෙන් නීතිවිරෝධී ලෙස සිදු කෙරෙන මෙවැනි වැලි කැණීම් කටයුතු වලට අදාළව පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
එමෙන්ම නීතිවිරෝධී ලෙස බලපත්‍රවල සදහන් කොන්දේසි උල්ලංඝනය කරමින් අනතුරුදායක ලෙස වැලි කැණීම් කටයුතුවල නිරතවන පුද්ගලයින් සඳහා නිකුත්කර තිබෙන වැලි කැණීම් සඳහා වු බලපත්‍ර බල රහිත කිරීමේ ආඥාවක් නිකුත්කරන ලෙසත් එම සංවිධානය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.






















