තොටලඟ නිවාස 750 ක් ඉදිකිරීම ආරම්භ කෙරේ.
කොළඹ නගරයේ අවිධිමත් ජනාවාස ගැටළුව විසදීමේ තවත් පියවරක් වශයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් එම අවිධිමත් ජනාවාසවල ජීවත්වන නිවැසියන්ට, විධිමත් නිවාස ලබාදීම සඳහා තොටලඟ මුවදොර නව නිවාස 750 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය පසුගිය දා ආරම්භ කෙරිණ.
තොටලඟ කැළණි පාලම සහ තොටලඟ මුවදොර උයන නිවාස සංකීර්ණය අසල පිහිටි අක්කර 02 ක භූමියක් මෙම නිවාස ඉදිකිරීමට තෝරාගෙන තිබේ. මහල් 15 කින් සමන්විත වන මෙම නිවාස ව්‍යාපෘතියේ වර්ග අඩි 550 නිවාස 750 ක් ඉදිවේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරිණ.
අඩු පහසුකම් යටතේ අවිධිමත් ජීවීත ගත කරන මෙම නිවැසියන්ට ඉන් බැහැරව යහපත් ඵලදායී ජීවීත ගත කිරීමට අවස්ථාව උදාකරලීමේ අරමුණින් “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකෙරේ.
මෙම ව්‍යාපෘතියට අදාළව නිවාස ඉදිකිරීම ඇරඹුණේ දැනට නිවාස 1,000 ක ඉදිකිරීම් අරඹා තිබෙන ස්ටේඩියම්ගම නිවාස ව්‍යාපෘතියෙනි. මෙම සමස්ත මහල් නිවාස ඉදිකිරීම ව්‍යාපෘති 09 කින් සමන්විත වන අතර එයට රාජගිරිය ඔබේසේකරපුර නිවාස 300, නාවල කොලඹගේ මාවත නිවාස 300,මාළිගාවත්ත ඇපල්වත්ත නිවාස 700 ක් ද ඇතුළත් වන අතර එම නිවාස ව්‍යාපෘතීන්හි ඉදිකිරීම් මේ වන විට ආරම්භ කර ඇත. එමෙන් ම මාදම්පිටිය නිවාස 750 තවමත් භූමිය පරීක්ෂා කරමින් පවතින අතර මට්ටක්කුලිය නිවාස ව්‍යාපෘති 03 ක් ද මෙයට ඇතුළත් වේ.
මේ වන විට අඩුපහසුකම් ජනාවාසවල ජීවත්වන ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙමින් පවතින නිවාස ප්‍රමාණය 5,500 ක් වන අතර, දැනට වැඩ ආරම්භ කර ඇති සියළු නිවාස ව්‍යාපෘති වසර 03 කින් සාදා නිම කිරීමට අපේක්ෂා කෙරේ. මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා ආසියානු යටිතල පහසුකම් සහ ආයෝජන බැංකුවේ ණය ආධාර මත ඉදිකෙරෙන අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 04 ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇත.
ඉදිරි වසර 04 ඇතුළත රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ කරමින් නිවාස ව්‍යාපෘති සිදු කරමින් ඒ හරහා නිවාස 125,000 කට අධික නිවාස ප්‍රමාණයක් රටේ මහජනතාවට ලබා දීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම උත්සවයට සහභාගී වෙමින් සඳහන් කළේ ය.
“වැඩ නතර වෙලා තිබ්බ රට යළි වැඩ ආරම්භ කරලා වැඩ බිමක් බවට පත් කිරීම අපි අද පටන් අරගෙන තියෙනවා. අතීතය ගැන දොස් නගමින්, ජනතාව රවටමින් ඉන්නවාට වඩා වර්තමානය සහ අනාගතය ගැන කතා කරමින් අනාගතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය වැඩ කටයුතු සකස් කිරීම අපට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. අපි දන්නවා මීට පෙර වර්ෂවල සංවර්ධනය සඳහා ඉඩම් අත්පත් කර ගන්නකොට ඒකට නිසි ක්‍රමවේදයක් තිබුණේ නෑ. ඒ ඉඩම්වල අනවසර පදිංචිකරුවන් ඉන්නවා නම් ඒ අයව අයින් කරල බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන තමයි සංවර්ධන කටයුතු සිදු කළේ. මේ සංකල්පය වෙනස් කළේ වර්තමාන ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සිටියදී එතුමා තීන්දුවක් ගත්තා අනවසරයෙන් හෝ අවසර ඇතුව පදිංචිව සිටින කිසිම කෙනෙක් සංවර්ධන කටයුතු සිදු කිරීම නිසා ඉවත් කරන්නේ නෑ කියලා. ඔවුන්ව එහෙම ඉවත් කරනවා නම් ඔවුන්ට නිවසක් ලබා දීලා ඒ සංවර්ධන කටයුත්ත සිදු කරන්න කියලා. අපේ රජයේ අරමුණ වන්නේ මේ රටේ ජීවත්වන සෑම පුරවැසියෙකුට ම ගෞරවාන්විතව, ප්‍රීතිමත්ව තම පවුල සමඟ පවුල් ජීවිතය ගෙවන්න පුළුවන් නිවාස ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කරන්න. අපේ නිවාස ව්‍යාපෘතින් ව්‍යුහ තුනක් තියෙනවා. පළවෙනි එක අඩු ආදායම්ලාභීන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙල. ඒක සිදු කරන්නේ රජයේ වියදමින්. ඉතාම සහනදායී සහ වාසි ක්‍රමයකට ඔවුන්ට එම නිවාස ලැබෙනවා. දෙවැනි නිවාස වැඩපිළිවෙළ තමයි මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස ලබාදීම. මේක කාලාන්තරයක් තිස්සේ කාගේවත් අවධානය යොමු නොවුණු වැඩපිළිවෙළක්. මධ්‍යම පාන්තිකයන්ට ඔවුන්ගේ වැටුපට සරිලන නිවසක් ලබා ගැනීම අද ඉතාම දුෂ්කර කටයුත්තක් වෙලා තියෙනවා. ඔවුන්ට ඒ මුදල දරන්න බැරි තරම් විශාලයි. ඒ නිසා අපි ආරම්භ කළා මධ්‍යම පාන්තිකයන්ට නිවාස 5,000 ක් සෑදීමේ වැඩපිළිවෙළ. මේ නිවාස අඩු ආදායම්ලාභීන්ට වගේ නොමිලේ දෙන්නේ නැහැ. ඒ නිවාසවලින් විශාල ලාභයක් අපි බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. නමුත් යම්කිසි වටිනාකමක් ගෙවන්න ඕනේ. එක් ගෙයක් සඳහා යන වියදමට වගේ අපි ඒ නිවාස ලබා දෙන්නේ. ඒ මුදල ඉතාම සාධාරණයි. තුන්වෙනි නිවාස ව්‍යාපෘතිය වන්නේ රජයේ වියදමින් නිවාස හදලා මධ්‍යම පාන්තිකයන්ට ඒ නිවාස කුලියට ලබාදීම. ඒක තාම අපි පටන් ගත්තෙ නැහැ. අඩු ආදායම්ලාභීන්ටත් ඒ නිවාස කුලියට ගන්න පුළුවන්. ඒ අනුව අපි ඉදිරි වසර 04 තුළ අගමැතිතුමාගේ උපදෙස් අනුව නිවාස 125,000 ක් හදලා අවසන් කරනවා. මේ සියලු කටයුතු රාජ්‍ය අංශයට තනියම කරන්න අපහසුයි. ඒ නිසා අපි පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගන්නවා. පෞද්ගලික අංශයට පුලුවන්නම් ආයෝජනයක් කරලා නිවාස ගොඩනඟන්න රජයෙන් ඒ සඳහා ඉඩම් ලබා දෙන්න සූදානම්. ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබා දෙන්න පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය එකට ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න රජයත් සමඟ එකතුවන්න.”
යනුවෙන් ද නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
මෙම අවස්ථාවට එක් වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේ මේ අවුරුද්ද අවසාන වන විට සුළු ආදායම්ලාභීන්ගේ නිවාස ප්‍රශ්නය සෑහෙන දුරකට විසඳීමට කටයුතු කිරීමට හැකි වන බවයි.
“73 වන නිදහස් උත්සවයේ දී අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා මං වැඩ කරන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රතිපත්ති එකහෙලාම ඉටුකිරීම සඳහා කියලා. ඒ අනුව අද වනවිට අපි සුළු ආදායම්ලාභීන්ගේ නිවාස සහ මධ්‍යම පාන්තිකයන්ගේ නිවාස 7,227 සෑදීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනමලා තියෙනවා. විවිධ ප්‍රදේශවල මධ්‍යම පාන්තිකයන්ගේ නිවාස ව්‍යාපෘති 10 ක් කොන්ත්‍රාත්කරුවන්ට භාර දීලා තියෙනවා මේ අවුරුද්ද අවසාන වනවිට නිම කරන්න. සුළු ආදායම්ලාභීන්ට නිවාස 3,000 ත් මේ අවුරුද්ද තුළදී නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව 2024 වන විට නාගරික සංවර්ධන අධිකාරියෙන් පමණක් නිවාස 40,000 ක් පමණ සාදා නිම කිරීමයි අපේ බලාපොරොත්තුව. මේ නිවාස ව්‍යාපෘති සඳහා අපේ අමාත්‍යාංශයෙන් රුපියල් බිලියන 72 ක් වියදම් කරනවා.”
යනුවෙන් ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.
නාගරික අඩුපහසුකම් ජනාවාසවල ජීවත්වන පවුල්වල ජීවන තත්වය ඉහළ නැංවීම, සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත්වීම, යහපත් ජීවීතයක් ගත කිරීමට අවශ්‍ය වාතාවරණය සැකසීම ඇතුළු කරුණු රැසක් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් ද සහිතව මෙම තොටලඟ මුවදොර නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
අවිධිමත් ජනාවාසවල පදිංචිකරුවන් සඳහා වන මෙම නිවාස ව්‍යාපෘතිය හවුල්කාර ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙහි ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමට හවුල්කාර සාමාගම් 02 ක් ද ඇතුළත් වෙයි.
එම හවුල්කරුවන් දෙදෙනා වනුයේ සිවිල් ඉංජිනේරු කොන්ත්‍රාත් කෝපරේෂන් සහ චයිනා රේල්වේ 25 බියුරෝ ගෲප් කෝපරේෂන් ලිමිඩට් යන කොන්ත්‍රාත්කාර ඉදිකිරීම් සමාගම් දෙකයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම නිවාස සංකීර්ණයේ නිවාස සැලසුම, නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් සහ මඟපෙන්වීම මත, කොන්ත්‍රාතාත්කාර සමාගම් විසින් සකස් කරනු ලබයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් ද නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ නගරයේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය (SCURP) මඟින් මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.






















