ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ආණ්ඩුව වර්තමානය වන විට ජනතාවගේ පිළිකුලට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
ගාල්ලේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, වර්තමානය වන විට සමස්ත ජනතාවම ආණ්ඩු පෙරළියකට පවා පෙළගැහෙමින් සිටින බවය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හබරාදුව ආසන බලමණ්ඩල රැස්වීම පෙරේදා පැවැත්වුණේ රමේෂ් පතිරණ, මොහාන් පී. සිල්වා හා නිපුන රණවක යන මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙනි.
කෙසේවෙතත් එම රැස්වීමට සහභාගි වන ලෙස සඳහා හබරාදුව ප්‍රදේශය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්
පක්ෂ සාමාජික සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට ආරාධනා නොලැබීම පිළිබදව මෙලෙස සිය කණගාටුව පළ කළේය.
“පොහොට්ටුවට අපි අවශ්‍ය නැතෙයි කියලා මේ විදියට දිගින් දිගටම ප්‍රකාශ වෙනවා නම් ජනතාව ඉන්න තැන අපි ඉන්නවා. හැබැයි පොහොට්ටුව කියන්නේ බොහෝම පටු විදියට හිතන දේශපාලන පක්ෂයක් වුණෝතින් ඒකෙන් ජනතාව ඈත්වේවි. අවුරුදු 5කට බලය දුන්නැයි කියලා ජනතාවගේ සිතුම් පැතුම්වලට එරෙහිව අපි කටයුතු කළ යුතුද යන ප්රශ්නය අහන්න මම කැමතියි. මේ මොහොතේ ආණ්ඩුව ජනප්‍රිය ආණ්ඩුවක් නෙමෙයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ රජය හැටියට අද ජනතාව රජය සහ පොහොට්ටුව වැළඳගෙන නෙමෙයි ඉන්නේ කියලා. ජනතාව බිම් මට්ටමෙන් අපිව පිළිකුල් කරන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. පොහොට්ටුව හැටියට තේරුම් ගන්න ඕනේ අද මං හිතන්නේ සියලු බලවේග පෙළගැහෙමින් ඉන්නේ පක්ෂ නෙමෙයි ආණ්ඩුවත් තල්ලු කරන්න. “






















