මන්නාරම ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු තෝරාගැනීම සඳහා හෙට (29) පැවැත්වීමට නියමිත රැස්වීම තහනම් කිරීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් අකිල ඉලංගෙයි මක්කල් කොංග්‍රසය නමැති පක්ෂයෙන් එම ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ හිටපු ප්‍රාදේශීය සභා සභාපති ෂාහුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් විසින් එම පෙත්සම ඉදිරිපත්කර තිබුණි.
එහි වගඋත්තරකරුවන් ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්. එම්. චාල්ස්, එම පළාතේ පළාත් පාලන කොමසාරිස්, මන්නාරම ප්‍රාදේශීය සභාවේ ලේකම් ඇතුළු හත් දෙනෙකු නම්කර ඇත.
පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ විනය කඩකළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් අධිකරණ විනිශ්චයකාරවරයෙකු ගෙන් යුත් කමිටුවක් මගින් තමාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වූ බවය.
එම විනය පරීක්ෂණයේදී තමන්ට කරුණු ඉදිරිපත්කිරීම සඳහා සාධාරණ අවස්ථාවක් ලබාදීමට පරීක්ෂණ නිලධාරියා කටයුතු නොකළ බවට චෝදනා කර ඇති පෙත්සම්කරු ඒ තුළින් තමන්ට දැඩි අගතියක් සිදුවූ බවද සඳහන් කළේය.
මෙම පෙත්සම හෙට දින අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.






















