ප්‍රමාණවත් තරම් ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොවීම හේතුවෙන් ප්‍රදේශ රැසක පාරිභෝගික ජනතාව තවදුරටත් පීඩාවට පත්වී සිටී.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ, සංයුතිය සම්බන්ධයෙන් මතුවූ ගැටලුකාරී තත්ත්වයෙන් අනතුරුව එම ගෑස් සිලින්ඩර යළි පිරවීමේ ක්‍රියාවලිය හේතුවෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින බවය.
මේ අතර ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැවරීමට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආනයන අපනයන පාලකවරයා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බවය.
ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂාකිරීම සඳහා මෙතෙක් නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවූ අතර පසුගියදා ඇති වූ ගෑස් ගැටළුවලින් පසු එහි පරීක්ෂා කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැවරීමට තීරණය කරනු ලැබීය.
මෙවැනි පසුබිමක භූමිතෙල් භාවිතය සඳහා යොමුවූ ජනතාව ඔරුගොඩවත්ත ඉන්ධන පිරවුම්හල අසල බොහෝ වේලාවක් දිගු පෝලිම්වල රැඳී සිටි අයුරු ද දක්නට ලැබුණි.






















