සිරුරේ කිසිදු අඩුපාඩුවක් නොමැති ඇතැමුන් විවිධ හේතු නිසා ජීවිතය අත්හරිද්දී දෙපා වාරු නැතිව අභියෝග ජයගත් තරුණයෙක් පිළිබඳව ‘අද දෙරණ’ ට තොරතුරු වාර්තා විය.
30 හැවිරිදි උපුල් රංජිත් වන ඔහු, දෙපා නොමැතිව වුවත් පස් වරක්ම සිරිපා කරුණා කර තිබීම ද විශේෂත්වයකි.
මෙවර ඔහු සිරිපා කරුණා කරන්නේ, තවත් ආබාධ සහිත පිරිසකට නඩේ ගුරා වෙමිනි.
දෙපයට වාරු ඇති දෙනෝදාහක් අතරේ ඔහු සිරිපා කරුණා කරන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.
උපතින්ම ආබාධ සහිතව මෙළොව එළිය දුටු උපුල් සිය ආබාධිත තත්ත්වය කිසිදු දිනක ජීවීත ගමනට බාධාවක් කරගෙන තිබුණේ නැත.
“ගොඩාක් කට්ටිය කතා කළා උස්සගෙන යන්න. මම කිව්වා එපා.. මගේ හිතේ ශක්තිය තියෙනවා කියලා. අපිට දියව් අපිට දියව් කිය කියා ඉන්නේ නැතුව තමන්ට ලැබිලා තියෙන දෙයින් දෙයක් කරලා පෙන්වන්න.” යනුවෙන් උපුල් රංජිත් පැවසීය.
අවිවාහක තරුණයෙක් වන උපුල්, මව, පියා සහ සහෝදර සහෝදරියකගෙන් යුත් පවුලේ වැඩිමලාය.
අනුරාධපුර මැදවච්චිය වල්පොළ ගම්මානයේ උපත ලද උපුල් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් කොළඹට පැමිණ පුද්ගලික අංශයේ රැකියා කිහිපයකම නිරත වී තිබුණි.
ඔහු මේ වනවිට සේවය කරන්නේ පිළියන්දල අධ්‍යාපන කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරියෙකු ලෙසය.
සෑම රාජකාරි දිනකම පාහේ සේවයට වාර්තා කරන ඔහු කාර්යාලයට පැමිණෙන්නේ ඔහුගේම ත්‍රීරෝද රථයෙනි.
සාමාන්‍ය පුද්ගලයින් සේම ඔහුත් රාජකාරියට වාර්තා කිරීමේදී ඇඟිලි සලකුණ පවා තැබීමට කටයුතු කරන්නේ ආයතන නීතීවලට ගරු කරමිනි.
එළෙස සිය ජීවිතයට පවා අභියෝග කරගෙන ජීවිතය දිනන්නට වෙර දරනා උපුල් වැනි දිරිය තරුණයන් සාමාජයට දෙන පාඩම සැබවිමන්ම ආදර්ශයකි.






















