යුක්‍රේනයට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් අමෙරිකානු මාධ්‍යවේදියෙකු මියගොස් තිබේ.
රුසියාව – යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු දරුණුම සටන් පවතින කියුව් අගනුවර අසල ඉර්පින් නගරයේදී ඊයේ (13) අමෙරිකානු මාධ්‍යවේදියෙක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙකු වන බ්‍රෙන්ට් රෙනෝඩ් වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ.
යුක්‍රේන යුද තත්වයේදී මරණයට පත් වූ පළමු විදේශ මාධ්‍යවේදියා වන 50 හැවිරිදි බ්‍රෙන්ට් ජනමාධ්‍යවේදියෙක් ලෙස සම්මානයට ද පාත්‍ර වූ අයෙකි.
යුද පුවත් වාර්තාකරණයේ දක්ෂයෙක් වූ බ්‍රෙන්ට් මීට පෙරත් ඉරාකය, ලිබියාව, ඇෆ්ගනිස්ථානය යන රටවල සිට ද පුවත් පිපාසයෙන් පෙළෙන ලොව ජනතාවට යුද භූමියේ සිට පුවත් දැන ගැන්මට සැලැස්වූ අතර දැනට රුසියන් ආක්‍රමණයට ගොදුරු වී තිබෙන යුක්‍රේනයේ තත්ත්වය වාර්තා කිරීමට ද සිය සහෝදර මාධ්‍යවේදියෙකු සමග ගොස් තිබුණි.
ඊයේ දිනත් ඔවුන් දෙදෙනා යුද බිමේ සැබෑ තත්ත්වය පිරික්සමින් සටන් පවතින ප්‍රදේශත් රුසියානු හමුදාවන් යටත් කරගත් ප්‍රදේශ ආසන්නයට ගොස් ජනතාව විදින දුක් පීඩාවන් ද සොයා බලමින් ජනතාව බෝම්බ ප්‍රහාරවලට බියෙන් පළා යමින් සිටින අයුරු රූපගත කරමින් සිටියේය.
ඔහුට හා සහෝදර මාධ්‍යවේදියාට රුසියන් හමුදාවන්ගෙන් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් බ්‍රෙන්ට් දිවියෙන් සමුගත් අතර වෙඩි ප්‍රහාරය ඔහුගේ ගෙල පෙදෙසට එල්ල වී තිබුණි.
එම වෙඩි ප්‍රහාරයෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර වෙඩි තැබීමෙන් තුවාල ලද ඔහු සමග සිටි තවත් සහෝදර මාධ්‍යවේදියෙක් වූ 45 හැවිරිදි ජුවාන් මේ වනවිට යුක්‍රේනයේ රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
අමෙරිකානු වාර්තාකරුගේ සිරුරේ තිබී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත නිකුත් කළ මාධ්‍ය හැඳුනුම්පතක් සොයාගෙන තිබේ.
ඔහු පුවත්පතේ සේවය කළ බවට වාර්තාවල සඳහන්වූ නමුත් ඔහු මිය යන විට ඔහු ඒ පුවත්පත සඳහා වැඩ නොකළ බව නිවේදනයක් නිකුත් කරමින් එම පුවත්පත සඳහන් කළේය.
මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු හමුදා යුක්‍රේනය වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර දැඩි කර ඇති බවය.
රුසියා – යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වී දින 19ක් ගතවී ඇති අද දිනය වනවිට රුසියානු හමුදා යුක්‍රේනය වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර තවත් දැඩි කර තිබේ.
යුක්‍රේනයේ විවිධ දිශාවලින් ඉදිරියට පැමිණෙන රුසියානු හමුදා සටනේ යම් ප්‍රගතියක් ලබා සිටීන අතර කියුව් අගනුවර සමීපයේ ද හමුදා ඛණ්ඩ රැඳී සිටී.
යුක්‍රේන බලධාරීන් පවසන්නේ රුසියානු හමුදා මේ වන විටත් කියුව් අගනුවර වටලමින් සිටින බවය.
කියුව් අසළ ප්‍රදේශවල දරුණු ගැටුම් වාර්තා වන යුක්‍රේන හමුදා අඩපණ කිරීමේ අරමුණ ඇතිව රුසියාව ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඒ අනුව නේටෝ සාමාජික රාජ්‍යයක් වන පෝලන්ත දේශසීමාවේ ගුවන් හමුදා කඳවුරක් මෙන්ම පතොරම් ගබඩාවක් ඊයේ රුසියානු ප්‍රහාරවල ඉලක්ක වී තිබුණි.
මේ අතර, යුක්‍රේනයේ යුද මෙහෙයුම්වලට රුසියාව චීනයෙන් හමුදා සහය සහ ආධාර ඉල්ලා ඇති බව අමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් අමෙරිකාව අනතුරු අඟවන්නේ සම්බාධක මඟහැර යාමට රුසියාවට උපකාර කළහොත් චීනයට ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවය.






















