Friday, July 17, 2026
HomeNEWSහරිත බලශක්තිය මර්දනයට උත්සාහයක් - පාඨලී.

හරිත බලශක්තිය මර්දනයට උත්සාහයක් – පාඨලී.

විදුලි බිඳවැටීමට සැබෑ හේතුව වසන් කර හරිත බලශක්තිය මර්දනයට උත්සාහයක් – පාඨලී චම්පික රණවක*පසුගිය පෙබරවාරි 9 වන දින සිදු වූ දිවයින පුරා විදුලි බිඳවැටීමට සැබෑ හේතුව ලක්විජය බලාගාරය මත පැටවීමට උත්සාහ කළ ද, එයට මුල් වී ඇත්තේ වික්ටෝරියා බලාගාරයේ සිදු වූ දෝෂයක් බවත්, මෙම සිදුවීම හරිත බලශක්ති ප්‍රවර්ධනය අඩපණ කිරීමේ උත්සාහයක් බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා අද (01) දින පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කළේය.”වසන් කරන්නට හැදූ විදුලිය බිඳ වැටීමට සැබෑ හේතුව” මැයෙන් පැවති මෙම මාධ්‍ය හමුවේදී රණවක මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.”පෙබරවාරි නමවෙනිදා දහවල් එකොළහයි දහතුනට පමණ මුළු රටේම විදුලිය බිඳ වැටීමක් වුණා. ලංකා විදුලිබල මණ්ඩලය පසුදාම කිව්වේ පානදුරේ සිදුවීමක් ගැන. ඇමතිවරයා නම් කිව්වේ වඳුරෙක් නිසා මේක වුණා කියලා. ඒත් ලංවිම වාර්තාවේ මුලින්ම තිබුණේ පුත්තලම ලක්විජය ගල් අඟුරු බලාගාරය නිසා මුළු රටේම විදුලිය බිඳ වැටුණා කියලයි.”කෙසේ වෙතත්, මාසයකට පමණ පසුව ලංවිම විසින් නිකුත් කරන ලද සවිස්තර වාර්තාවක් මේ වන විට යටපත් කර ඇති බවත්, එම වාර්තාවට අනුව විදුලි බිඳවැටීමට මූලික හේතුව වී ඇත්තේ සූර්ය සහ සුළං බලය පද්ධතියට උකහා ගැනීමේ අසමතුලිතතාවයක් නොවන බවත් රණවක මහතා පෙන්වා දුන්නේය.”මේ බිඳ වැටීමට හේතු වුණේ පද්ධතිය අසමතුලිතතාවය නිසා සූර්ය බලය හා සුළං බලය කියලා [මුලින් කීවාට], වැදගත්ම කාරණය මේ වාර්තාවට අනුකූලව, මෙවැනි අර්බුදයක් කළමනාකරණය කිරීමට පාවිච්චි කරන්නේ වික්ටෝරියා හෝ කොත්මලේ ජලාශ. ඒ අවස්ථාවේදී මේ වික්ටෝරියාවේ ෆෝල්ට් එකක්, එහෙම නැත්නම් වික්ටෝරියානු බලාගාරය ට්‍රිප් වුණා කියලා මේකේ [ලංවිම වාර්තාවේ] සඳහන් වෙනවා. ඒ වික්ටෝරියාව ට්‍රිප් වුණාට පස්සේ තමයි පුත්තලම ලක්විජය බලාගාරය ට්‍රිප් වෙලා තියෙන්නේ.”මෙය සනාථ කිරීම සඳහා වික්ටෝරියා බලාගාර කළමනාකාරීත්වය විසින් නිකුත් කළ වාර්තාවක් ද ඇති බවත්, එම වාර්තාව ලංවිම පද්ධති කළමනාකරණ අංශයේ වාර්තාවට පරස්පර බවත් ඒ මහතා පැවසීය.”වික්ටෝරියා වාර්තාවට අනුව, දහවල් 11:13:59 ට වික්ටෝරියාවේ දෙවැනි යුනිට් එකත්, 11:14:02 ට තුන්වැනි යුනිට් එකත් ට්‍රිප් වෙලා තියෙනවා. ලක්විජය බලාගාරයේ යුනිට් තුනම ට්‍රිප් වෙලා තියෙන්නේ ඒකට පස්සේ. ඒ කියන්නේ 11:14:04, 11:14:08 සහ 11:14:08 ට. ඒ අනුව ඉතාම පැහැදිලියි, ලක්විජය බලාගාරය දඩමීමා කර ගත්තට ඇත්තටම මුලින් වෙලා තියෙන්නේ වික්ටෝරියා.”මෙම සිදුවීමේ සම්පූර්ණ වගකීම විදුලිබල අමාත්‍යාංශය භාරගත යුතු බව අවධාරණය කළ රණවක මහතා, ඉංජිනේරුවන් විසින් පසුගිය නොවැම්බර් මාසයේ සිට සහ විශේෂයෙන් පෙබරවාරි 8 වන දින මෙවැනි බිඳවැටීමක් විය හැකි බවට අනතුරු අඟවා තිබියදීත්, දේශපාලන අධිකාරිය (ඇමති, සභාපති, උපසභාපති ඇතුළු) එය නොසලකා හැර ඇති බවට චෝදනා කළේය.මෙම බිඳවැටීම හේතුවෙන් ලංවිමට ගිගාවොට් පැය 10ක පමණ බලශක්ති පාඩුවක් සහ රුපියල් මිලියන 8,463ක (කෝටි 846ක) සෘජු මූල්‍ය පාඩුවක් සිදු වූ බවත්, රටේ ආර්ථිකයට සිදු වූ පාඩුව මීට කිහිප ගුණයක් විය හැකි බවත් ඔහු සඳහන් කළේය.තවද, මෙම සිදුවීම හරිත බලශක්තිය (සූර්ය, සුළං, කුඩා ජල විදුලි) මර්දනය කිරීමට යොදා ගනිමින් සිටින බවට රණවක මහතා චෝදනා කළේය. “මේක පාවිච්චි කරලා දැන් හරිත බලශක්තිය මොට කිරීමේ වැඩපිළිවෙලක් ලංකා විදුලිබල මණ්ඩලය දියත් කළා… ඒ කප්පාදුවේ ප්‍රතිඵලයක් හැටියට පහුගිය මාස දෙකේ [පෙබරවාරි, මාර්තු] ලංවිම තාප බල ජනනය සඳහා වැය කරන මුදල කෝටි එක්දාස් හාරසීයකින් [රු. බිලියන 14කින්] වැඩිවෙලා තියෙනවා.”මෙම පාඩු පියවා ගැනීම සඳහා පළාත් පාලන මැතිවරණයෙන් පසු ජූනි මාසයේදී විදුලි ගාස්තු ඉහළ නැංවීමට රජය සූදානම් වන බවට අනාවැකි පළ කළ ඒ මහතා, එය පාරිභෝගිකයන් ලක්ෂ 75 මත පැටවෙන බරක් බව කියා සිටියේය.මෙම බිඳවැටීම සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව (COPE) හරහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, විගණකාධිපතිවරයා ලවා විගණනයක් සිදු කළ යුතු බවත්, මහජන උපයෝගීතා කොමිසම (PUCSL) විසින් “ආර්ථික අපරාධය” සම්බන්ධයෙන් මහජන විනිශ්චය සභාවක් පැවැත්විය යුතු බවත් රණවක මහතා ඉල්ලා සිටියේය.තවද, සූර්ය බලය සඳහා ගෙවන ගාස්තු අඩු කිරීමට මාර්තු 18 වන දින කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් (මෙගාවොට් 1ට වැඩි බලාගාර සඳහා රු. 14.46, ගෘහස්ථ පියසි සඳහා රු. 19.61), මෙය රු. 40-50 ගණන්වලට තාප බලාගාරවලින් විදුලිය නිපදවන විට සූර්ය බල කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ දැමීමේ උත්සාහයක් බවත් ඔහු චෝදනා කළේය.පසුගිය වසරේ (2024) හරිත බලශක්තියෙන් ගිගාවොට් පැය 2670ක් ජනනය කර, එමගින් ඩොලර් මිලියන 260ක් (රු. බිලියන 78ක්) රටට ඉතිරි කර දී ඇති පසුබිමක, “ගල් අඟුරු මාෆියාව හා තෙල් මාෆියාව” විසින් මෙම හරිත බලශක්ති ප්‍රවර්ධනය ආපසු හැරවීමට උත්සාහ දරන බවත්, වත්මන් ජනාධිපතිවරයාගේ පත්වීමෙන් පසු පත් වූ උපදේශකයන් මෙයට වගකිව යුතු බවත් රණවක මහතා වැඩිදුරටත් පැවසීය.”වහාම රජය මේ තීරණ ආපසු හරවලා මේ හරිත බලශක්ති ප්‍රවර්ධනය සඳහා පියවර ගත යුතුයි… එහෙම නොවුණොත් ඉදිරි කාලයේදී මේවායේ තවත් සියුම් කාරණා හෙළිදරව් කරන්න අපි පසුබට වෙන්නේ නැහැ,” යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායකයා අවධාරණය කළේය.මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක මහතා;ප්‍රශ්නය: සූර්ය බලය විසි හතරට වඩා අඩුවෙන් දුන්නයි කියලා පාරිභෝගිකයාට විශේෂ හානියක් වෙන්නේ නෑනේ?පිළිතුර: පාරිභෝගිකයාට අඩුවෙන් දෙන්න පුළුවන් වෙන්න එපෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ නිකන් ලැබෙන බලශක්තිය කප්පාදු කරලා මොකක්ද මේගොල්ලෝ ගේන විකල්පය? මේ කාලේ හුඟක් වැඩියි විදුලිබල ඉල්ලුමත්. මේ උණුසුමයි, උත්සව සමයයි නිසා. මොකෙන්ද මේ විදුලිය දෙන්න යන්නේ? තෙල් වලින් ගල් අඟුරුවලින්. කොහොමද විදුලි පාරිභෝගිකයාට ඒක වෙන්නේ? ඒකයි මම පෙන්නුවේ. පහුගිය පෙබරවාරි මාර්තු වල කෝටි එක්දාස් හාරසීයකින් ජනන වියදම් වැඩිවෙලා තියෙනවා තාප බලාගාර වල.වඳුරු කළමනාකරණ සැලසුම්ප්‍රශ්නය: වඳුරෝ ගැන සංගණනයේ තාම ප්‍රතිඵලයක් නෑ. රන්දෙණිගල දූපතට මේ වඳුරෝ එකතු කරන් ගිහින් දානවා කියලා කතාවක් තියෙනවා? පිළිතුර: නෑ ඇත්තටම මේ අපිත් ඇහුවේ ඒකයි. මේ සංගණනය කරන්නේ මොකටද? මේ සංගණනයෙන් බලාපොරොත්තු වෙන දේ මොනවද? දැන් ඇත්තටම අවසානයේ මහනුවර දිස්ත්‍රික්කයේ වඳුරෝ පමණක්, ඒ කියන්නේ අපේ කෘෂිකර්ම ඇමතිතුමා, ලාල්කාන්ත මැතිතුමාගේ දිස්ත්‍රික්කයේ වඳුරෝ විතරක් රන්දෙණිගලට ගෙනියන්න හදනවා. ඇත්තටම මම පරිසර ඇමති සමයේදී, ඔවැනි යෝජනාවක් ගෙනාවා. මම ඇහුවා කොහෙවත් මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා තියෙනවද? මං සාමාන්‍යයෙන් අහනවා අලුත් යෝජනාවක් ගෙනාවම කොහෙද මේක ප්‍රායෝගිකව කරලා තියෙන්නේ කියලා. එහෙම තැනක් පෙන්නුවේ නෑ. එහෙම නම් අපි මේක කුඩාවට කරලා බලමු. පරීක්ෂාවක් කරලා බලමු මේකේ සාර්ථක අසාර්ථකභාවය. අලි සම්බන්ධයෙනුත් ඔය වගේ යෝජනා ආවා. අපි තමයි ඔය අලි වැට ගොඩ නැඟුවේ ‘ගජ මිතුරෝ’ නමින්. මහා පරිමාණයෙන් කළේ. ඒ වගේ අපි කරලා බලමු. ඉතින් අපි පොඩි සාම්පලයක් කළා. ඒ වගේම මට මතකයි අපි රත්මලාන ප්‍රදේශයේ වඳුරන් අල්ලලා, අවිස්සාවේල්ල ප්‍රදේශයේ කැලෑ වලට මුදා හැරීමකුත් කළා. ඉතින් ඒවායේ ලැබිච්ච අත්දැකීම ඉතාම නීරසයි. එක පැත්තකින් මුදල් වියදම් වෙනවා. අනිත් පැත්තෙන් වඳුරු ගහනය පාලනය වෙන්නේ නෑ. ඉතින් අපේ ඒ පුංචි අත්දැකීමෙන්, පාඩම් ඉගෙන ගන්නේ නැතුව ඒක රටටම කරන්න යාම, අති විශාල පාඩුවක්. ඒ වගේම මේ සංගණනයට, වියදම් කරපු මුදලුත් අද වෙනකම් මේ සංගණනයේ ප්‍රතිඵල නිකුත් කරගන්න බැරිවීම මගින් පෙන්නලා දීලා තියෙන්නේ. ඒකත් ජාතික ධනය කාබාසිනියා කිරීමක්. මේකේ ප්‍රතිඵල නිකුත් කර ගන්න අසමත් උනොත් අනිවාර්යෙන්ම පොදු දේපල පනත යටතේ ඔවුන්ට නඩු පැවරිය යුතුයි. මොකද අනවශ්‍ය වැඩකට, කරන්න බැරි වැඩකට මුදල් යොදවලා ප්‍රතිඵලයක් ලබා නොදීම ඔවුන්ට ලබාදීලා තියෙන ජනතා විශ්වාසය කඩ කිරීමක් නිසා. ඒ උසාවියෙන් තීන්දු දීලා තියෙනවා ඔවැනි කාරණා සම්බන්ධයෙන්. ඒ කියන්නේ එක යටතේ ඒ පොදු යහපත සඳහා කාර්යක්ෂමව රාජ්‍ය සේවය මෙහෙයවන්න තමයි ඇමතිලට දීලා තියෙන්නේ. හිතූ හිතූ මනාපේ, හිතූ, හිතූ ව්‍යාපෘති කරන්න නෙවෙයි. හිතූ, හිතූ, මනාප, හිතූ, හිතූ ව්‍යාපෘති කරන්න ගිහිල්ලා ධනය නාස්ති කරගන්න ඕනේ නැහැ. මොකද ලොකු ප්‍රශ්නයකින් තොරව ඕකේ සාම්පලයක් අපි කරලා ඒක සාර්ථක නැති බව අපි අවබෝධ කරගත්තා. ඒක නිසා ඒක කිරීමෙන් පලක් නෑ. ඒක නිසා අලුත් වැඩ කරන්න කලින් පරණ අත්දැකීම් දිහා බලන්න. ඒ අනුව කටයුතු කරන්න. විශේෂයෙන්ම මේ වඳුරු ගහණය වැඩිවීමට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මනුෂ්‍යයා විසින් නිපදවන ආහාර. වඳුරන් සාමාන්‍යයෙන් ස්වභාවිකව ගන්නා ආහාර නෙවෙයි. මනුෂ්‍යයා විසින් නිපදවන ආහාර ඔවුන් අනුභවයට ගැනීම හරහා තමයි වඳුරු ගහනය ඉතා බරපතල ලෙස වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම අනික් වන හානි කරන සතුන්ගේ ගහන වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා මනුෂ්‍යයාගේ ඒ ආහාර ඔවුන්ට ලබා දීම වැළැක්වීම සඳහා ක්‍රමවේද අනුගමනය කළ යුතුයි. එතනදී ප්‍රධාන වශයෙන්ම මෙහෙයවිය යුතු පිරිස ගොවිබිම් අයිති ගොවියෝ. ඒ ගොවිබිම් අයිති ගොවියන්ට තමන්ගේ ගොවිබිම් රැකගැනීම සඳහා අවශ්‍ය උපකරණ, අවශ්‍ය ශක්තිය, අවශ්‍ය වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමයි රජය කළ යුත්තේ.මෙම මාධ්‍ය හමුවට එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, උපසභාපති තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන් ද එක්ව සිටිය හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img