Wednesday, September 23, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12...

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා යමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.52 ට සාපේක්ෂව 4.26% ක ඉහළ යාමකි.

මෙම කාලසීමාව තුළ භාණ්ඩ හා සේවා අපනයන යන අංශ දෙකම ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇත. භාණ්ඩ අපනයනය 3.63% කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් බිලියන 9.41 ක් ලෙස සටහන් වූ අතර, සේවා අපනයනය 6.59% ක  වර්ධනයක් සටහන් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.60 ක් දක්වා ළඟා විය.

මෙම සාධනීය වර්ධනය 2026 අගෝස්තු මාසයේ කාර්යසාධනය තුළ ද පිළිඹිබු වූ අතර, එහිදී සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.60 ක් දක්වා ළඟා වෙමින් පෙර වසරට සාපේක්ෂව 1.77% ක වර්ධනයක් වාර්තා කළේය. අගෝස්තු මාසය තුළ සේවා අපනයන අංශය 13.97% කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් මිලියන 331.87 ක් බවට පත්වෙමින් සුවිශේෂී ප්‍රගතියක් පෙන්නුම් කළ අතර, භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.27 ක් විය.

වසරේ මුල් මාස අට තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව පසුකිරීම, ශ්‍රී ලංකාවේ අපනයන පදනම පුළුල් කිරීම හා විවිධාංගීකරණය කිරීම, ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පැවැත්ම ශක්තිමත් කිරීම සහ ජාතික ආර්ථිකයට අපනයන ක්ෂේත්‍රයේ දායකත්වය ඉහළ නැංවීමට ගන්නා උත්සාහයන් හි සුවිශේෂී ඉදිරි පියවරකි.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම පෙට්‍රෝලියම් නිෂ්පාදනවල ඇස්තමේන්තුගත අපනයන අගයන්ට අනුව, 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,269.49 ක් වූ අතර එය 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව 1.0% ක සුළු අඩුවීමකි. මේ අතර, සේවා අපනයන අංශය 2026 අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 331.87 ක ඇස්තමේන්තුගත ආදායමක් උපයමින් පසුගිය වසරේ අදාළ මාසයට සාපේක්ෂව 13.97% ක ධනාත්මක වර්ධන ප්‍රවේගයක් පවත්වාගෙන ගියේය.

ඒ අනුව, භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙන්ම සමන්විත ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,601.36 ක් දක්වා ළඟා වූ අතර, එය 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව 1.77% ක වර්ධනයකි.

සමස්තයක් ලෙස, 2026 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය මඟින් රටේ බාහිර අංශයේ පවතින ශක්තිමත්භාවය පෙන්නුම් කරන අතර, එහිදී සමස්ත අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා ගියේය. භාණ්ඩ හා සේවා අපනයනයන් හි දක්නට ලැබෙන මෙම සාධනීය කාර්යසාධනය, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික සංවර්ධන අරමුණු වලට අනුකූලව වඩාත් විවිධාංගීකරණය වූ, තරඟකාරී සහ අපනයන මුලික ආර්ථිකයක් ගොඩනැගීම සඳහා තබන ලද සාර්ථක පියවරකි.

2026 අගෝස්තු මාසයේ අපනයන කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, 2026 පළමු මාස අට තුළ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 පසුකිරීම ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් වන අතර එය අපනයන ප්‍රජාවේ ශක්තිමත්භාවය, නම්‍යශීලී බව සහ අඛණ්ඩ උත්සාහය පෙන්නුම් කරන බවයි. භාණ්ඩ හා සේවා අපනයන අංශ දෙකෙහිම වාර්තා වූ ධනාත්මක වර්ධනය මෙන්ම අගෝස්තු මාසයේදී සේවා අපනයන අංශයේ දක්නට ලැබුණු ප්‍රබල කාර්යසාධනය මඟින් ශ්‍රී ලංකාවේ අපනයන පදනමේ වර්ධනය වන විවිධත්වය සහ ශක්තිය මනාව පෙන්නුම් කරන බව ද හෙතෙම පැවසීය.

මෙම ප්‍රවේගය මත පදනම්ව කටයුතු කිරීමේදී, දැනට පවතින අපනයන අංශවල තරඟකාරිත්වය ශක්තිමත් කරන අතරම නව නිෂ්පාදන, සේවාවන් සහ වෙළඳපොළවල් සංවර්ධනය කිරීම වේගවත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. ඉහළ අගය එකතු කිරීම්, නවෝත්පාදනයන්, තාක්ෂණය වැළඳ ගැනීම, වෙළඳපොළ විවිධාංගීකරණය සහ ගෝලීය අගය දාමයන් වෙත වඩාත් ගැඹුරින් සම්බන්ධ වීම අපනයන වර්ධනය පවත්වා ගැනීමටත් ජාතික ආර්ථිකයට වැඩි වටිනාකමක් එකතු කිරීමටත් තීරණාත්මක වනු ඇත.

ඉදිරි අභියෝගයන්ට මුහුණ දීමට, ජාත්‍යන්තර වෙළඳාම සඳහා සුදුසු පරිසරය වැඩිදියුණු කිරීමට සහ ව්‍යාපාරවල ගෝලීය ව්‍යාප්තියට සහාය වීමට අපනයනකරුවන්, කර්මාන්ත සංගම් සහ රාජ්‍ය පාර්ශවකරුවන් සමඟ අපනයන සංවර්ධන මණ්ඩලය අඛණ්ඩව සමීපව කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය. අඛණ්ඩ සහයෝගීතාවය මෙන්ම තරඟකාරිත්වය සහ විවිධාංගීකරණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාව එහි දිගුකාලීන අපනයන අභිලාෂයන් කරා ගෙන යාමටත්, වඩාත් ශක්තිමත්, තරඟකාරී සහ අපනයන මුලික ආර්ථිකයක් ගොඩනැගීමටත් කැපවන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය

මූලාශ්‍ර:

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා රේගුව

2026 අගෝස්තු මස සඳහා අපනයන සේවා, මැණික් හා ස්වර්ණාභරණ, සහ පෙට්‍රෝලියම් නිෂ්පාදනවල අපනයන සංඛ්‍යාලේඛන අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ඇස්තමේන්තු කරන ලදී.

ප්‍ර‍තිපත්ති සහ උපායමාර්ගික සැලසුම් අංශය

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

23.09.2026

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...

ඉදිරියේදී ඉන්ධන සහනාධාරයක්ද? මිල සංශෝධනයක්ද?

ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනාධාරයක් ලබාදීම හෝ මිල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී....
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img