එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය
එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට එක්වී ගෝලීය සාමය, ආරක්ෂාව, සංවර්ධනය, මානව හිමිකම් සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ අදහස් හා ප්‍රතිපත්ති ඉදිරිපත් කරන ප්‍රධානතම ජාත්‍යන්තර වේදිකාවකි. 2026 වසරේ පැවැත්වෙන්නේ එහි 81 වැනි සැසිය වන අතර, එහි ඉහළ මට්ටමේ සතිය සැප්තැම්බර් 22 සිට 28 දක්වා නිව්යෝක්හිදී පැවැත්වේ. මෙවර මහා මණ්ඩලයේ තේමාව වන්නේ “Restoring Trust, Managing Transformation: A United Nations That Delivers for All” – “විශ්වාසය යළි ගොඩනැගීම, පරිර්වර්තනය කළමනාකරණය කිරීම සහ සියලු දෙනා වෙනුවෙන් ප්‍රතිඵල ලබාදෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන්නයි. යුද්ධ හා මානුෂීය අර්බුද, දේශගුණික අර්බුද, අසමානතාව, තාක්ෂණික පරිවර්තනය සහ බහුපාර්ශ්වික පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය පහළ යාම වැනි අභියෝග මධ්‍යයේ මෙවර තේමාව තෝරාගෙන තිබීම විශේෂත්වයකි.
මෙවර 81 වැනි මහා මණ්ඩල සැසිය වැදගත් වන්නේ සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට පමණක් සීමා නොවී, වර්තමාන ලෝක බල ව්‍යුහය මුහුණ දෙන සංකීර්ණ අර්බුද රැසක් එකම වේදිකාවකදී සාකච්ඡා කිරීමට සිදුව ඇති අවස්ථාවක් බැවිනි. යුක්රේන යුද්ධය, මැදපෙරදිග ගැටුම්, පලස්තීන ප්‍රශ්නය, දේශගුණික විපර්‌යාස, මුහුදු මට්ටම ඉහළ යාම, න්‍යෂ්ටික අවි අවදානම, කෘත්‍රිම බුද්ධිය සහ තිරසර සංවර්ධනය වැනි කරුණු මෙවර ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ වැදගත් ස්ථානයක් ගනී. එක්සත් ජාතීන්ගේ නිල වැඩසටහන අනුව සාමය හා ආරක්ෂාව සමඟම සංවර්ධනය, දේශගුණික ක්‍රියාමාර්ග, න්‍යෂ්ටික අවි තුරන් කිරීම සහ බහුපාර්ශ්වික පාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම ද ප්‍රධාන අවධානයට ලක් වේ.
මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 81 වන මහා මණ්ඩල සැසියේ ඉහළ පෙළේ සතිය (High-Level Week) සඳහා නිව්යෝර්ක් බලා යාමට නියමිත අතර, සැප්තැම්බර් 28 දින මහා මණ්ඩලයේ සාමාන්‍ය විවාදය (General Debate) අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් 2026 සැප්තැම්බර් 26 දින නිව්යෝර්ක් බලා පිටත් වීමට නියමිත අතර, සැප්තැම්බර් 28 දින මහා මණ්ඩලයේ සාමාන්‍ය විවාදය (General Debate) සඳහා සහභාගී වී ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සහ ගෝලීය ගැටලු සම්බන්ධයෙන් රටේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ.
මෙම සංචාරය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සඳහා වැදගත් වන්නේ මහා මණ්ඩලයේ ප්‍රධාන දේශනයට පමණක් සීමා නොවී, ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනැගීමේ අවස්ථාවක් ලෙසද ක්‍රියා කිරීම හේතුවෙනි. ඒ අනුව මෙහිදී රටවල් සමඟ සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීනගේ සංවිධානයේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඒ අනුව විජිත හේරත් අමාත්‍යවරයාගේ මෙම නිව්යෝර්ක් සංචාරය ශ්‍රී ලංකාවේ හඬ ගෝලීය වේදිකාවේ ඉදිරිපත් කිරීම මෙන්ම රටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුළුල් කිරීමේ අවස්ථාවක් ලෙස දැකිය හැකිය. විශේෂයෙන් ඉන්දියානු සාගර කලාපයේ පිහිටි කුඩා රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට මහා බලවතුන් අතර පවතින භූදේශපාලනික තරගකාරීත්වය මධ්‍යයේ තම ස්වාධීනත්වය, බහුපාර්ශ්වික සහයෝගීතාව සහ ජාතික අවශ්‍යතා ඉදිරිපත් කිරීම වැදගත් වේ. 2025 වසරේ 80 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අවස්ථාවේදීද විදේශ අමාත්‍යවරයා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ බහුපාර්ශ්වික ආයතන සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබූ බැවින්, මෙවර සංචාරයද ශ්‍රී ලංකාවේ ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික අවශ්‍යතා එකිනෙක සම්බන්ධ කරගන්නා තවත් අවස්ථාවක් බවට පත්විය හැකිය.






















