08/11/2026
සජිත් ප්‍රේමදාස මැතිතුමා,
විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.
ගරු විපක්ෂ නායකතුමනි,
සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි ස්ථාන මාරු කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාද ලබා ගැනීම.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරවමින් සහ මේ සම්බන්ධයෙන් කඩිනම් මැදිහත් වීමක් අපේක්ෂාවෙන් මෙම ලිපිය යොමු කරමි.
පසුගිය කාලසීමාව තුළ මෙරට සම්බුද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේලාට එරෙහිව විවිධාකාරයේ ප්‍රචණ්ඩකාරී හා අපහාසාත්මක ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම සඳහා රාජ්‍යයට පවරා ඇති වගකීම පවා නොසලකා හරිමින්, නීතිය ක්‍රියාත්මක කරන ඇතැම් ආයතන වල ක්‍රියා කලාපයන් මෙන්ම වත්මන් ආණ්ඩුවට හිතවාදී සමාජ මාධ්‍ය අවකාශයන් තුළ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රචාරණයන් ද බරපතළ අවධානයට ලක්විය යුතු තත්ත්වයක පවතී.
එමෙන්ම, පසුගිය කාල සීමාව තුළ වත්මන් ආණ්ඩුවට අවාසිදායක හෝ ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් ප්‍රශ්න කරමින් තීන්දු හා නියෝග ලබාදුන් අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීමට ලක්වීම සම්බන්ධයෙන් ද සමාජය තුළ බරපතළ සැක සංකා සහ ප්‍රශ්න කිරීම් මතුවෙමින් පවතී. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතුව කරුණු පැහැදිලි කිරීම අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.
ඉහත කරුණු දෙකම මෙරට ආගමික සංහිදියාව, බුද්ධ ශාසනයේ ආරක්ෂාව, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි සෘජුවම බලපාන අතිශය වැදගත් ජාතික කාරණා බව අවධාරණය කරමි.
එබැවින්, හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේදී විවාද දෙකක් ලබා ගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන මෙන් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.
තවද, ඉදිරියේදී පැවැත්වීමට නියමිත අයවැය විවාදය හමුවේ මෙම ජාතික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගේ අවධානය වෙනතකට යොමු වීමේ අවදානමක් පවතී. අයවැය විවාදයේ කාර්ය බහුලත්වය හමුවේ මෙවැනි බරපතළ කරුණු යටපත් වීමට ඉඩ නොතැබීම සියලුම ප්රජාතන්ත්රවාදී බලවේගවල වගකීමක් බව ද පෙන්වා දෙමි.
එබැවින්, මෙම කරුණු සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර, අදාළ පාර්ලිමේන්තු විවාද දෙක ලබා ගැනීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුමය හා දේශපාලනික ක්‍රියාමාර්ග ගන්නා මෙන් නැවතත් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.
මෙයට විශ්වාසී.
නීතිඥ සාගර කාරියවසම්
මහ ලේකම්,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.






















