කර්මාන්ත අමාත්‍යවරයා සහ හම්බන්තොට වරාය සමාගම අතර සාකච්ඡාවක්.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රවර්ධනය පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ (පෞද්ගලික) සමාගම (HIPG) අතර සාකච්ඡාවක් ඊයේ (28) 73/1, ගාලු පාර, කොළඹ03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
මෙහි දී ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රවර්ධනය පිණිස HIPG සමාගම විසින් සකසන ලද යෝජනාවලියක් ද අමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබීය. ඉදිරියේ දී හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත හෙක්ටයාර 280ක කර්මාන්තපුරය පිළිබඳව ද මෙහි දී කරුණු ඉදිරිපත් විය.
එහි දී HIPG සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රේ රෙන් මහතා පැවසුවේ ඉහත කර්මාන්ත පුරයෙහි මුලින්ම ටයර් කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට නියමිත බවත් ඒ සඳහා සිදු කරන ආයෝජනය ඇමරිකන් ඩොලර් මිලියන 300ක් බවත් සඳහන් කළේය. මේ කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය වන සේවක පිරිස 2000ක් බවත් ප්‍රදේශයේ පිරිස් වෙත එම අවස්ථාවන් ලබා දීමටත් ටයර් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමටත් පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.මෙම සාකච්ඡාව සඳහා HIPG සමාගමේ සාමාන්‍යාධිකාරී ටිම් ෂියාඕ මහතා ද එක්ව සිටියේය.






















