අඩුවයස් විවාහවීම් වැළැක්වීමට අවධානය යොමුවී ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, මල්වතු – අස්ගිරි පාර්ශවයේ නාහිමිවරුන් බැහැදැකීමට අද (29) එහි ගිය අවස්ථාවේදීය.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.
එහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ ව්‍යවස්ථාවට අනුව බුදුදහම පෝෂණය කිරීමට වගකීමක් සහ යුතුකමක් තිබෙන බවය.
අනතුරුව අධිකරණ අමාත්‍යවරයා අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.
අධිකරණ අමාත්‍යවරයා මහනුවර විහාරස්ථානයන්හි කළ සංචාරයේදී ගැටඹේ රාජෝපවනාරාම පිරිවෙන් විහාරාධිපති හිමියන් හා මල්වතු සහ අස්ගිරි පාර්ශ්ව අනුනායක වහන්සේලා ද බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
එහිදි අදහස් දැක්වු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා,
“මාව තෝරාපත් කරගෙන තියෙන්නේ මේ රටේ සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් වැඩ කරන්න. මම පුංචි කාලේ ඉඳන් හෝඩියේ පන්තියේ ඉඳලා සිංහල ඉගෙන ගත්තේ. මම ඉස්ලාම් ආගම ඇදහුවාට සංස්කෘතික වශයෙන් මං පෝෂණය වෙලා තියෙන්නේ ලංකාවේ සංස්කෘතියේ. ලංකාවේ සංස්කෘතියේ කියන්නේ 70% ක් 80% ක් සිංහල බෞද්ධ සංස්කෘතියේ. අපේ සමාජයේ තුළත් ඕනෑම සමාජයක් තුළත් යම් කොටසක් ඉන්නවා අන්තවාදී අදහස් දරන. අපි උත්සාහ කරන්නේ ඒ අය තෝරගෙන කොහොමද පුනරුත්ථාපනය කරන්නේ කියලා. බහුතරයට ඉතාම අවශ්‍යයි හොඳම ශ්‍රී ලාංකිකයෝ හැටියට එකට ජීවත්වෙන්න”






















