මෙරට මුහුදු සීමාවේදි ගිනි ගැනීමකට ලක් වු නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පැතිරීම අද (05) අලුයම වන විට පාලනය කර ඇති බව නාවික හමුදාව පැවසීය.
ගොඩබිමේ සිට නාවික සැතපුම් 40 ක් දුර ගැඹුරු මුහුදට නෞකාව මේවන විට රැගෙන ගොස් ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
ශ්‍රි ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරින් ගැඹුරු මුහුදේදී බොරතෙල් හා ඩීසල් රැගත් නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාව පසුගිය 3 වැනිදා ගිනි ගැනීමකට ලක් විය.
ඒ නෞකාවේ එන්ජින් කාමරයේ බොයිලේරුවක සිදු වූ පිපිරීමක් හේතුවෙනි.
ගින්න පිළිබඳ සැලවීමත් සමඟ ක්‍රියාත්මක වු ශ්‍රි ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාව වහා ගින්න මැඩ පැවැත්විමේ කටයුතු ආරම්භ කළේය.
ඊට මෙරට වෙනත් ආයතන ද එක්වු අතර ඉන්දිය නාවික හා වෙරළ ආරක්ෂක බලකායේ නෞකා ද එක් විය.
ඒ අනුව පැය 35ක පමණ කාලයක් පුරා සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් පසු ඊයේ (04) පස්වරු 7ට පමණ ගොඩබිමට නාවික සැතපුම් 20 කට ආසන්නයේ තිබියදී නෞකාවේ ගින්න පැතිරීම පාලනය කර තිබේ.
ඉන් අනතුරුව නෞකාව “ටග් යාත්‍රා” උපයෝගි කර ගනිමින් ගැඹුරු මුහුද දෙසට රැගෙන යාම ආරම්භ කෙරුණු අතර මේවන විට නෞකාව ගොඩබිමට නාවික සැතපුම් 40ක් දුරින් ගැඹුරු මුහුදේ රඳවා තබාගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
යම් හෙයකින් නෞකාවේ ඉන්ධන කාන්දුවිමක් සිදුවුවහොත් පියවර ගැනිම සඳහා ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් විසිදෙදෙනෙකු මෙරටට පැමිණ ඇත.
ඊයේ රාත්‍රි 11.20 ට හා 11.25 ට විශේෂ ගුවන්යානා දෙකකින් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඔවුන් මෙරටට පැමිණ තිබුණි.






















