Saturday, November 14, 2026
HomeNEWSLatest NewsMoody's වාර්තාව සහ ශ්‍රීලංකාවේ තීරණාත්මක අර්බුදය ගැන විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Moody’s වාර්තාව සහ ශ්‍රීලංකාවේ තීරණාත්මක අර්බුදය ගැන විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්


Moody’s වාර්තාව සහ ශ්‍රීලංකාවේ තීරණාත්මක අර්බුදය ගැන විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

(ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලැබූ ප්‍රශ්නය)

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධානතම ආයතනයක් වන Moody’s ආයතනය විසින් 2020.09.28 වෙනි දින ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිය පැවති මට්ටම වන B2 මට්ටමේ සිට එනම්, ඉහළ ණය අවදානම් මට්ටමේ සිට, Caa1 මට්ටම දක්වා, එනම් ඉතා ඉහළ ණය අවදානම් මට්ටම දක්වා කාණ්ඩ දෙකකින් පහත දමා ඇත. ඒ අනුව, වර්තමානයේ ඇන්ගෝලා, බාබඩෝස්, බෙලීස්, කොංගෝ, ගැබොන්, ඉරාකය හා මාලි වැනි රාජ්‍යයන් අයත්වන ඉතා ඉහළ ණය අවදානම් කාණ්ඩයට ශ්‍රී ලංකාවද ඇතුළත් වී ඇත. ඕනෑම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව ‘C’ කාණ්ඩයට ශ්‍රේණිගත වූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව වශයෙන් මෙය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාව විසින් එළැඹෙන වසර කිහිපය තුළ විශාල ප්‍රමාණයක් ණය ආපසු ගෙවිය යුතුව පවතින බැවින් මෙම පහත හෙළීම සිදුවනුයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තීරණාත්මක අවධියකය. මුදල් අමාත්‍යාංශයේ 2019 වාර්ෂික වාර්තාවට අනුව 2020 – 2025 අතර කාලය තුළදී පමණක් ශ්‍රී ලංකාව විසින් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 4 බැගින් වන ණය සේවාකරණයක් සිදු කළ යුතුය.

2020 අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාව සතු වූ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.4 ක් පමණ වුවද පසුගියදා ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් කල් පිරුණු බැඳුම්කර පියවීම සඳහා ලබා ගන්නා ලද්දේ මෙම සංචිතවලිනි. අප රට සතු සංචිතවලින් විදේශ ණය ගෙවීම කිසිසේත්ම හිතකර තත්ත්වයක් නොවේ. එය යම් කුටුම්බයක් හෝ සමාගමක් විසින් ස්ථාවර තැන්පතුවක පවත්නා ඉතුරුම්, සිය ණය වාරික ගෙවීම සඳහා යොදා ගැනීමකට සමාන තත්ත්වයකි.

සාමාන්‍යයෙන් ලෝකයේ මැදි ආදායම් ලබන රටවල් තම ණය ගෙවීම සඳහා මුදල් සපයා ගනු ලබන්නේ විදේශ බැඳුම්කර හරහායි. කෙසේ වුවද, ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි තිබූ විශ්වසනීයත්වය බිඳ වැටීම හේතුවෙන් මෙම වසර මුලදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොළට ප්‍රවිෂ්ඨවීමේ අවස්ථාව අහිමි විය. මෙසේ ගෝලීය වෙළඳපොළට ප්‍රවිෂ්ඨ වීමේ අවස්ථාව අහිමි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට තම මූල්‍ය අවශ්‍යතා සපුරා ගත හැක්කේ ද්වි පාර්ශවීය සබඳතා හරහා පමණි. ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ස්වෛරී රාජ්‍යයක් බැවින් මෙම තත්ත්වය කිසිසේත්ම සාධනීය තත්ත්වයක් වශයෙන් සැළකිය නොහැක. අනෙක් අතට, ශ්‍රී ලංකාව සහන පොළී සහිත ණය ලබා ගැනීමේ අවස්ථා සොයමින් සිටින වකවානුවක ජපානයෙන් ඉතාම සුළු පොළී අනුපාතිකයක් යටතේ ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ප්‍රදානයක් වූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) අත්හිටුවීමට රජය විසින් තීරණය කරන ලද බව වාර්තා විය. මෙවැනි අත්තනෝමතික තීරණ හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ විශ්වසනීයත්වය බරපතළ අන්දමින් හෑල්ලුවට ලක්වීම වැළැක්විය නොහැක.

තවද, Moody’s ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම කාණ්ඩ දෙකකින් පහත දැමීමට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ දුර්වල කාර්යසාධනයයි. ඉතා වගකීම් විරහිත ලෙස බාල දේශපාලන වාසි තකා 2019 වසර අගදී සිදු කරන ලද බදු ආදායම් කප්පාදුව හේතුවෙන් 2020 වසරේ මුල් මාස 07 තුළදී පෙර වසරේ එම කාල සීමාවට සාපේක්‍ෂව 40.9% කින් රජයේ බදු ආදායම අඩු විය. උදාහරණයක් වශයෙන් 2019 වසරේ ජූලි මාසයේ බදු ආදායම රුපියල් බිලියන 133 ක් වුවද, 2020 වසරේ ජූලි මාසයේ බදු ආදායම රුපියල් බිලියන 90 ක් පමණක් විය. අනෙක් අතට රජය විසින් අත්තනෝමතික අන්දමින් පනවා ඇති භාණ්ඩ ආනයන තහනම හේතුවෙන්ද රජයේ ප්‍රධානම බදු ආදායමක් අහිමි වී ඇත. රාජ්‍ය ආදායම අඩුවීමෙන් සිදු වන්නේ සංවර්ධන වැඩ කටයුතු ඇනහිටීමයි. උදාහරණයක් වශයෙන් 2019 වසරේ මුල් මාස 07 දී රුපියල් බිලියන 373.4 ක් වූ ප්‍රාග්ධන වියදම් 2020 වසරේ මුල් මාස 07 දී රුපියල් බිලියන 180.2 දක්වා පහත වැටී ඇත. ඒ අනුව, 2019 වසරට සාපේක්‍ෂව 2020 වසරේදී සංවර්ධන වියදම් 107.2% කින් අඩු වී තිබේ.

2019 වසරේදී රජයට වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 686 ක්ද, විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 228 ක්ද, පොළී ගෙවීම සඳහා රුපියල් බිලියන 901 ක්ද වැය විය. ඒ අනුව, වැටුප්, විශ්‍රාම වැටුප් හා පොළී සඳහා පමණක් වැයවූ සම්පූර්ණ මුදල රුපියල් බිලියන 1,815 කි. 2019 වසරේදී රජයේ සම්පූර්ණ වියදම රුපියල් බිලියන 2,915 කි. මේ වසරේදී මෙම වියදම සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩි වීමක් සිදු වේ. නමුත් දැනට පෙනී යන අන්දමට මෙම වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 1,300 ක් පමණ වනු ඇති අතර, මෙම තත්ත්වය යටතේ මෙම වසරේ අයවැය හිඟය 10% ඉක්මවා යනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය. නමුත් රජය විසින් මේ වන තෙක් අයවැය හිඟය පියවීමේ ක්‍රමවේදය පිළිබඳව රටට හෙළි කොට නොමැත.

Moody’s ආයතනය විසින් සිදු කොට ඇති ශ්‍රේණිගත කිරීමට ප්‍රතිචාර දැක්වීම සඳහා මනා ආර්ථික කළමනාකරණයක් අවශ්‍ය වුවද, අයවැය හිඟය පියවා ගැනීමේ ක්‍රමවේදයන් හා රාජ්‍ය ණය අවම කරගැනීමේ ක්‍රමවේදයන් සමබ්න්ධයෙන්ද, ආර්ථික ක්‍රියාවලීන් හරහා රාජ්‍ය අදායම ඉහළ නංවා ගැනීම අතින්ද, රජය මුළුමනින්ම අසාර්ථක වී ඇත. මනා ආර්ථික කළමනාකරණයක් තුලින් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වසනීයත්වය නැවත ඇති කරගනු ලබන තෙක් විදේශ ණය ගෙවීමත්, ගෝලීය බැඳුම්කර වෙළඳපොළට ප්‍රවිෂ්ඨ වීමත්, ඉතා දුෂ්කර කාර්යයයක් වනු ඇත. යම් හෙයකින් විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාව පත් වුවහොත් මෑතකදී ආර්ජන්ටිනාව මුහුණ දුන් අර්බූදය වැනි අර්බූදයකට මුහුණ දීමට සිදු වනු ඇති අතර එවැනි තත්ත්වයක් යටතේ අධික ලෙස පොළී අනුපාතික ඉහළ යාම, රුපියලේ අගය අධික ලෙස අවප්‍රමාණය වීම හා ජීවන තත්ත්වයේ බිඳ වැටීමක් සිදු වීම නොවැළැක්විය හැකි වනු ඇත. වර්තමාන ශ්‍රේණිගත කිරීම යටතේද රුපියලේ අගය අවප්‍රමාණය වීමක් හා පොළී අනුපාතික ඉහළ යාමක් මෙන්ම විදේශ ණය ලබා ගැනීමේ දුෂ්කරතා ඇති වීම වැනි අභියෝගවලට මුහුණ දීමට සිදු වනු ඇත.
ශ්‍රී ලංකාව මේ වන විට රුපියලේ අගය අවප්‍රමාණය වීම පාලනය කොට ඇත්තේ ආනයන තහනම් කිරීම මගින් වන අතර ඒ හරහා කර්මාන්ත ක්ෂේත්‍රයට, අපනයන කටයුතුවලට මෙන්ම ආර්ථික සං වර්ධනයට ඉතා අහිතකර බලපෑමක් එල්ල වනු ඇත. එසේම, ශ්‍රී ලංකාව පොළී අනුපාතික පාලනය කොට ඇත්තේ මුදල් අච්චු ගැසීමෙන් වන අතර ඒ හරහා උද්ධමනය අධික ලෙස වැඩි වීමත් ආර්ථික අස්ථාවරත්වයක් ඇතිවීමත් වැළැක්විය නොහැකි වනු ඇත. මෙම අර්බූදය ජාතික වැදගත්කමකින් යුතු හදිසි කාරණයක් බැවින් පහත ප්‍රශ්න සඳහා රජයෙන් නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙමි.

1) තිරසරභාවයකින් යුතුව රාජ්‍ය ණය මට්ටම පවත්වා ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති හෝ ගැනීමට අපේක්‍ෂා කරනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මොනවාද? එම තීරණ අදාළ වන්නේ රාජ්‍ය වියදම් කපා හැරීම සම්බන්ධයෙන් නම් එළෙස වියදම් කපා හරිනු ලබන්නේ කුමන අංශවලද යන්න පිළිබඳවත්, එම කපා හැරීම් හේතුවෙන් ඇති වන දීර්ඝ කාලීන ආර්ථික බලපෑම සම්බන්ධව රජයේ ස්ථාවරය පිළිබඳවත් මෙම ගරු සභාව දැනුවත් කිරීමට රජය කටයුතු කරන්නේද?

2) භාණ්ඩ ආනයන තහනමක් පවත්වාගෙන යන පසුබිමක් යටතේ රජය විසින් රාජ්‍ය ආදායම් වැඩි කරගැනීමට අපේක්ෂා කරනු ලබන්නේ කුමන ආකාරයටද? Moody’s ආයතනයේ වාර්තාව අනුව ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමට නම් මූල්‍ය හිඟයන් පියවා ගැනීම සඳහා රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම අනිවාර්ය වන පසුබිමක් යටතේ රජය විසින් පසුගිය වසරේදී සිදු කරන ලද බදු ආදායම් කප්පාදුව පිළිබඳව නැවත සළකා බැලීමට කටයුතු කරන්නේද?

3) රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයේ දුර්වල ආයතනික කාර්යසාධනය හා පාලනය පිළිබඳව Moody’s ආයතනයේ වාර්තාවේ නිශ්චිතව සඳහන් කොට තිබෙන අතර රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාළව ආයතනික කාර්යසාධනය හා පාලනය වැඩිදියුණු කිරීමට රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව පාර්ලිමේන්තුව සතු බලතල, විගණකාධිපතිවරයාගේ කාර්ය භාරය හා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සම්බන්ධව රජයේ ස්ථාවරය මෙම ගරු සභාවට පැහැදිලි කරන්නේද?

4) ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා සිටින ලද කඩිනම් මූල්‍යකරණ පහසුකම (Rapid Financing Instrument) මෙතෙක් නොලැබීමට හේතු මොනවාද? ජාත්‍යන්තර වශයෙන් ආර්ථික කටයුතු සම්බන්ධව ශ්‍රී ලංකාවේ විශ්වසනීයත්වය බිඳ වැටීම තුළ එම විශ්වසනීයත්වය නැවත ගොඩ නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වඩාත් පුළුල් ගිවිසුමකට ඇතුළත් වීමට රජය අපේක්ෂා කරන්නේද? නොඑසේ නම් එම විශ්වසනීයත්වය ගොඩ නැංවීම සඳහා මෙන්ම, ශ්‍රේණිගත කිරීම්වලින් තවත් පහළ වැටීම වළක්වා ගැනීම සඳහා රජය විසින් ගනු ලබන විකල්ප ක්‍රියාමාර්ග කවරේද?

5) මූල්‍ය විශ්වසනීයත්වය ගොඩනැංවීම සඳහාත්, ණය ගෙවීම් පිලිබඳ සැලසුම් විධිමත් කිරීම සඳහාත් අනුගමනය කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් ෆිට්ච් (Fitch) හා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් (Standard & Poor) වැනි ආයතන සමග අවශ්‍ය වැඩකටයුතු කිරීමටත්, සාකච්ඡා කිරීමටත් රජය කටයුතු කොට තිබේද?

6) පසුගිය අප්‍රේල් මාසයේදී චීන සංවර්ධන බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් 500 ක ණය මුදලක් ලබා ගැනීමට රජය කටයුතු කරන ලදී. එම ණය මුදලේ පොළී අනුපාතිකය කොපමණද? මෙම ණය මුදල සඳහා පොළිය හා අනෙකුත් ගාස්තු ඇතුළත්ව රජය විසින් ගෙවිය යුතු සම්පූර්ණ මුදල කොපමණද? මෙම ණය මුදල ආපසු ගෙවීමට ලබා දී ඇති කාලය කොපමණද? රජය විසින් චීනයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් 700 ක ණය මුදලක් ලබා ගැනීමට අපේක්‍ෂා කරන්නේද? එසේනම්, එහි පොළී අනුපාතිකය, ගෙවිය යුතු සම්පූර්ණ මුදල හා එය නැවත ගෙවීමට ලැබෙන කාලය කොපමණද?

7) 2020 ජුනි මස 17 වෙනි දින රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක සම්මිලිත ණයක් සඳහා යෝජනා කැඳවන ලදී. එම අරමුදල් ලබා ගැනීමට රජයට හැකියාව ලැබුනේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?

8) 2020 ඔක්තෝබර් මස 02 වෙනිදා වන විට ශ්‍රී ලංකා මහබැංකුවේ ශේෂ පත්‍රය එනම් මුදල් අච්චු ගැසීම රුපියල් බිලියන 445 දක්වා වැඩි වී තිබුණි. මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% ක් පමණ වන අතර ඒ හේතුවෙන් අනාගතයේ අධික උද්ධමනයක් ඇති වීමේ අවදානමක් පවතී. පෞද්ගලික අංශයේ ණය ප්‍රමාණයද පසුගිය අගෝස්තු මාසය වන විට රුපියල් බිලියන 78 දක්වා වර්ධනය වී ඇති මෙන්ම, අධික අයවැය හිඟයක් හා විදේශ ණය ලබා ගැනීමේ අපහසුතාවයක් පවතින පසුබිමක මෙම අවදානම අවම කිරීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද?

9) පොළී අනුපාතික මේ වන විට ඉතා පහළ මට්ටමකට වැටී ඇත. පොළී ආදායම මත ජීවත්වන ජනතාවට, විශේෂයෙන්ම ජ්‍යොෂ්ඨ පුරවැසියන් හට මෙම තත්ත්වය අහිතකර ලෙස බලපා ඇත. මේ සඳහා රජය විසින් ලබා දෙන විසඳුම කුමක්ද?

10) කොවිඩ් අර්බූදයට පෙර, එනම් පසුගිය මාර්තු මස වන විට ශ්‍රී ලංකාවේ රැකියා වියුක්තිය වසර 10 කින් වාර්තා වූ ඉහළම අගය වන 5.7% දක්වා වැඩි විය. කොවිඩ් අර්බූදය හේතුවෙන් මෙම සංඛ්‍යාව තවත් වැඩි වී ඇති බව නොරහසකි. මෙම ගැටළුවට පිළියම් යෙදීම සඳහා රැකියා වියුක්ත රක්‍ෂණ ක්‍රමයක් වැනි යම් තාවකාලික සුභසාධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුමක් රජය සතුව තිබේද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල්

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල් ප්‍රදානය කෙරේ. අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම්වලින් වී වගාවන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img