අතීතයෙන් හොඳ දේ රැගෙන අනාගතය වෙනුවෙන් අද අපි ක්‍රියාත්මක වියයුතුයි -අගමැති
දේශීය ආර්ථික ප්‍රතිපත්තියක් තුළ රට සංවර්ධනය කිරීම තම ආණ්ඩුවේ ඉලක්කය වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ ඇල්පෙනිත්තක් හෝ නිෂ්පාදනය නොකරන ජාතිකයක් ලෙස තවදුරටත් අපට ම චෝදනා කර ගැනීම ඵලක් නොවන බවය.
පන්නිපිටිය මාකුඹුර ප්‍රදේශයේ ඉදිකළ පාවහන් කර්මාන්ත ශාලාවේ සමාරම්භක උත්සවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේය.
“අපි දන්නවා අපේ රටේ අනාගතය ගැන ශ්‍රී ලාංකිකයින් වන අපි හැමෝටම බලාපොරොත්තුවක් තියෙනවා. හැමෝම දකින්නේ එක සිහිනයක්. ඒ සිහිනය මේ රටේ සංවර්ධිත රටක් වන සිහිනය. අපි ලෝකය හමුවේ අනෙකුත් රටවල්වලට නොදැවෙනි මානුෂීය ගුණාංගවලින් පෝසත් ජාතියක්. පෞඩ ඉතිහාසයකට උරුමකන් කියන අපේ රටට ඉතිහාසය පුරාවට විවිධ කේෂ්ත්‍ර ඔස්සේ වටිනාකම් ලැබී තිබෙනවා. අපේ ඉලක්කය මේ රට දේශීය ආර්ථික ප්‍රතිපත්තියක් තුළ සංවර්ධනය කිරීමයි. ආනයනය සීමා කරමින් අපි දේශීය ගොවියා, කර්මාන්තකරුවන් දියුණු කිරීමට අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. කහ ඇතුළු කුළුබඩු විතරක් නොවේ අපේ රටේ වැවෙන බෝග පිටරටින් ගෙන්වන එක නතර කළා. දැන් ඉබේම අපේ රටේ ගොවියා ට එහි වාසිය ලැබෙනවා. ඇල්පෙනිත්තක්වත් හදන්න නැති ජාතියක් ලෙස තවදුරටත් අපටම චෝදනා කර ගැනීමෙන් ඵලක් වෙන්නේ නෑ. අතීතයෙන් හොඳ දේ රැගෙන අනාගතය වෙනුවෙන් අද අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. සෞභාග්‍යමත් දේශයක් කරා යන ගමනට මෙවන් කර්මාන්ත ශාලාවකින් ලබාදෙන ශක්තිය අති විශාලයි.“






















